slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2023
විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 යි – මගේ ජීවිතයේ අමතක නොවනම දිනය – ඇන්ජලෝ මැතිව්ස්

sinhala editor

ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලානය දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ‌ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා ගනු ලැබුවේ දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. ඒ විස්සයි-20  කප්පිතන් ලෙසින් සැලකෙන ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට තිසර පෙරේරා විසින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලද එම විජයග්‍රහණයේ 9 වැනි වසර සමරන අද (අප්‍රේල් 06) දිනයේදී ඒ සදහා දායකවූවන්ගේ මතකය ආවර්ජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පියවර ගනු ලැබුවේද ශ්‍රී ලාංකේය නාමයට අභිමානයක් ගෙන එන ලද එම ක්‍රිකට් විරුවනට උපහාරයක් ගෙන ඒම වෙනුවෙනි. එම ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම් දම්වැළේ ප්‍රධාන පුරුකක් වූ ඇනජලෝ මැතිව්ස් සිය මතකය අවධි කළේ මෙලෙසිනි.

“2014 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම පෞද්ගලිකව මගේ ක්‍රීඩා දිවියේ අමතක නොවනම අවස්ථාව කියලා පැහැදිළිවම මට කියන්න පුලුවන්. මොකද ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ක්‍රීඩකයෙක් විදියට කරන්න පුලුවන් උපරිම දේ” යැයි මැතිව්ස් සඳහන් කර සිටියි.

අවසන් මහ තරග වරම උදාකර ගැනීම සදහා තීරණාත්මක වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගයේදී අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් රැස් කරන ලද ලකුණු 40 ශ්‍රී ලංකා පිලට අතිශය වැදගත් විය. පන්දු 23 කදී වාර්තා වුණු එම ඉනිම සඳහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. වර්ෂාව හරස්වීම නිසා මෙම තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් ව ශ්‍රී ලංකාවට ලකුණු 27 ක ජයක් අත්විණ. කෙසේ වෙතත් තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස්ය. එපමණක් නොව එම තරගාවලියේ නෙදර්ලන්ත පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 16 කට කඩුලු 3 ක්  බිඳ හෙළමින් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39 කට සීමා කිරීම සඳහා ප්‍රධාන අඩිතාලම එක් කරනු ලබන්නේද මැතිව්ස් විසිනි. නෙදර්ලන්ත පිල දැවී ගිය එම ලකුණු සංඛ්‍යාව එවකට විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. මෙම දක්ෂතාව නිසා එම තරගයේද තරගයේ වීරයා සම්මානය මැතිව්ස් දිනාගන්නා ලද්දේ එම තරගාවලියේදී තරග 2 කදී එම සම්මාන දිනාගත් එකම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

“විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් මහ තරග ගත්තොත් අපි 2007 ලෝක කුසලාන අවසන් මහ තරග 4 ක් පරාජය වෙලා තමයි මේ තරගාවලියට එන්න. 2014 දි ඒක ජයග්‍රහණය කරන්න පුලුවන් වෙච්ච එක ගැන විශේෂයෙන්ම ලොකු සතුටක් ඇති වුණා” යැයි පවසන මැතිව්ස්, “මං හිතන්නේ ලංකාවේ සිටින සියලුම දෙනාම අදටත් ඒ ජයග්‍රහණය හැම තිස්සෙම මතක් වෙනවා ඇති” යැයි ද සදහන් කර සිටියේය.

“2014 අපි කණ්ඩායමක් විදියට සෙල්ලම් කරලා අපි හැම කෙනාම තම තමන්ගේ ඉතාමත්ම සතුටින් භුක්ති වින්දා. ඒක තමයි අපේ ජය්‍රහණය කිරීමේ රහස. එක පවුලක් සේ අපි ක්‍රීඩා කලා. ඉතිං ඒ අවස්ථාව 2014 අපිට අපේ රටට ඒ ගෙන එන්න පුලුවන් වුණු කීර්තිය ගෞරවය නැවතත් ගෙන ඒමට උපරිම කැප වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි වසර 9 කට එහා වූ ඈත අතීතය වර්තමානයට සංසන්දනය කරමින් මැතිව්ස් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest