slc
logo
Home   |    News
මැයි 4, 2023
ලකුණු 58 ක ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

පන්දුවට පහරදීම සහ පන්දුව යැවීමට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අති විශිෂ්ඨ උඩපන්දු රැක ගැනීම හමුවේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙැවනි එක්දින තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (04 දා) හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නියක් එක්දින තරගයකදී කඩුලු 5 ක් දවා ගත් තෙවැනි අවස්ථාවට අමතරව සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ඕෂධී රණසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළාය. පළමු තරග 2 වර්ෂාව හේතුවෙන් සේදී ගියත් තෙවැනි තරගයේ ජයග්‍රහණයත් සමග එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ආරම්භයේ සිටම බංග්ලාදේශ පිතිකාරිණියන් සිය ග්‍රහණයට ගත් ඕෂධී තම පන්දු 10 ක් ඇතුළතදී ආරම්භක පිතිකාරිණිය වන ශමිමා සුල්ටානා (5) සෝබනා මොස්ටරිගේ(11) කඩුල්ලද දවා ගනිමින් ප්‍රතිවාදීන් පීඩනයට ලක් කළාය. ඕෂධීගේ පන්දු යැවීමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී දැක ගත හැකි කැපී පෙනෙන සිදුවීමක් වූයේ අදහාගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ උඩපන්දු රැක ගැනීම විය. ඒ අතරින්, හර්ෂිතා මාධවී, විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරිගේ උඩපන්දු අති විශීෂ්ඨ මට්ටමේ වූහ.

තම පන්දුවාර 6 දී ලකුණ 34 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත් ඕෂධී රණසිංහ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත්ව ඇත්තේ සඳමාලි දොලවත්ත (16/5) සහ සුතෙර්ෂිනී සිවනාතම් (02/5) පමණි.

උඩ පන්දුවක් රැක ගැන්මට යෑමේදී තුවාල ලැබූ ලතා මොන්ඩල් පන්දුවට පහර දීමට නොපැමිණි නිසා බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාවට ජය හිමිවිය. මුලු ලකුණු සංඛ්‍යාව 128 සටහන්ව තිබියදී 9 වැනි කඩුල්ල දැවී යන විටත් බංග්ලාදේශ පිතිකාරිණියෝ පන්දුවාර 29.5 කට ක්‍රීඩා කර තිබිණ.

පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා පැවැත්වෙන මෙම තරගයටද වර්ෂාවෙන් බාධා පැමිණිම නිසා අද තරගය එක් පිලකට පන්දුවාර 30 කට සීමා විය. එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, පන්දුවට පහර දුන්නේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 50 දක්වා ඉදිරියට රැගෙන යමිනි. විශ්මි ගුණරත්න සමග එක්වූ චමරි අතපත්තු ඒ සඳහා පන්දු 62 ක් වැය කළහ.

පෙර තරගයේදී අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චමරි අතපත්තු අද දිනයේදී ආරම්භක පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණියේ එක්දින තරගයෙන් පන්දුවාර 20 ක්ම අහිමිව තිබූ බැවිනි.

එම සම්බන්ධතාවයේදී විශ්මිගේ දායකත්වය පන්දු 30 කදී ලකුණ 17 ක් වූයෙන් පවර් ප්ලේ අවස්ථාව සඳහා වෙන්වූ පන්දුවාර 6 දී ශ්‍රී ලංකාවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. කෙසේ වෙතත් සිය ප්‍රාහාරාත්මක පිතිහරඹය රඳවා ගත් චමරි අතපත්තු ලබා ගත් ලකුණු 64 සදහා වැය කර තිබුණේ පන්දු 60 ක් පමණි. ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්ව තිබිණ.

චමරි අද පන්දුවට පහර දුන් ආකාරයට ඇයට පහසුවෙන්ම ශතකයක් කරා යෑමේ අවකාශ හොඳින්ම තිබූ නමුත් අවාසනාවන්ත ලෙස 18 වැනි පන්දුවාරයේදී සුල්තාන් කටුන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

තමරි නවතාලූ තැනින් යලි පටන් ගත් හර්ෂිතා මාධවී පන්දු 48 කදී ලකුණු 45 ක් රැස් කළේ අවසන් පන්දුවාර දෙකේදී ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 30 ක් උදුරා ගනිමිනි. කවීෂා දිල්හාරි සමග එක්වූ හර්ෂිතා 18 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක්ව සටහන්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 186 ක් දක්වා ඉහළ දමන ලද්දේ අවසන් පන්දු 4 දී ලකුණු 18 ක්ද උදුරා ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී කවීෂා දිල්හාරි දැවී ගිය නමුත් ඊට පෙර ඇය මුහුණ දුන් පන්දු 4 ට ඇය ලකුණු 4, 4, 4, සහ 6 වශයෙන් ලකුණු ලබා ගැනීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 30 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 යි – (චමරි අතපත්තු 64, විශ්මි ගුණරත්න 17, හර්ෂිතා සමරවික්‍රම 45, නිලක්ෂි ද සිල්වා 11, අනුෂ්කා සංජීවනී 12, කවීෂා දිල්හාරි 25*, ජහානරා අලාම් 47/1, සුල්තානා කටුන් 22/1, නහිදා අක්ටර් 36/1, රිටු මෝනි 39/1, ෆහිමා කටුන් 40/1)

බංග්ලාදේශ කාන්තා පිල පන්දුවාර 29.5 කදී ලකුණු 128 යි – (නිගාර් සුල්තානා 37, මුර්ෂිදා කටුන් 16, ශමිමා සුල්තානා 5, සෝබනා මොස්ටරි 11, ෆර්ගනා හක් 24, රිතූ මෝනී 9, නහිදා අක්ටර් 7, සුල්ටානා කටුන් 1, ෆහිමා කටුන් 9*, ජහනරා අලාම් 4, ඕෂධී රණසිංහ 34/5, උදේශිකා ප්‍රබෝධනී 15/1, සුගන්ධිකා කුමාරි 20/1, ඉනෝකා රණවීර 16/1, චමරි අතපත්තු 12/1)

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee