slc
logo
Home   |    News
මැයි 20, 2023
ලෝක කුසලාන ජය ඉලක්ක කොට පරිපාලනය මෙහෙයවීම අපේ ඉලක්කයයි – ක්‍රිකට් සභාපති

sinhala editor

ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව යළිත් වරක් ක්‍රිකට් සභාපති ධූරය භාරගත් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ අද (20) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා මේ බව පැවැසීය.

2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම ඡන්ද විසීමකින් තොරව පැවැති අතර, සභාපති තනතුරට ශම්මි සිල්වා මහතා තෙවැනි වරටත් තේරී පත්විය. උප සභාපති තනතුරට ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු, ලේකම් තනතුරට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතා, භාණ්ඩාගාරික තනතුරට සුජීව ගොඩලියද්ද මහතා, උප ලේකම් තනතුරට ක්‍රිෂාන්ත කපුවත්ත මහතා නිතරගයෙන්ම තේරී පත්වූහ. උප භාණ්ඩාගාරික තනතුර සඳහා අයෙකු ක්‍රිකට් ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතය.

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා. ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලේකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි. නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි. ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න. ඒක ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි. දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම අයිසීසී එක ඉල්ලන අවශ්‍යතා සම්පූර්ණ කොට අවසන්. ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ“ ශම්මි සිල්වා මහතා පැවැසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මූල්‍ය අතින් ශක්තිමත්. අපේ බලාපොරොත්තුව ඉදිරි දෙවසර තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ගිණුමේ ඉතිරි කරන්නයි. ඉදිරි ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග හා ක්‍රීඩා ඇමැතිතුමා සමග සාකච්ඡා කරනවා. දැනට ක්‍රිකට් නිලවරණයේ ඇති ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට අපේ සැලසුමක් තියෙනවා. මේ සියල්ල ඇමැතිතුමාට පැහැදිලි කොට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අප දෙපාර්ශවයම කැප වෙනවා“යි  සිල්වා මහතා පැවැසීය.

“අයිසීසීය වාර්ෂිකව මුදල් ලබාදෙන ක්‍රමවේදය පිළිබඳ අපේ කැමැත්ත ප්‍රකාශ කළා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රාහක දායකත්වය පිළිබඳ ගණනය කොට මේ අලුත් තක්සේරු ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හදා තිබෙන්නේ. ඉන්දියාවේ අනුග්‍රාහක තක්සේරුව සියයට 90ක් පමණ වැඩියි. ඒ නිසා ඉන්දියාවට වැඩි මුදලක් යෑම සාමාන්‍ය දෙයක්. අපටත් වාර්ෂිකව ඩොලර් මිලියන 15ක් 16ක් විතර වැඩිවී තිබෙනවා. හැම රටක්ම මේ නව ක්‍රමයට එකඟ වුණා“.

“අපි ක්‍රිකට්වලට අමතරව අනෙක් ක්‍රීඩා දියුණුවට විශාල මුදලක් යොදවනවා. එයට අමතරව ඇතැම් පාසල්වල යටිතල පහසුකම් හා සමාජීය අවශ්‍යතා වෙනුවෙන් වෙනම අරමුදලක් පිහිටුවනවා. ලෝක කුසලානයට යන නෙට්බෝල් කණ්ඩායමට රුපියල් මිලියන 25ක් අනුමත කළා. තව මලල ක්‍රීඩා, මොටර් රථ ක්‍රීඩා තරග වැනි දේ සදහාත් ළගදී මුදල් ලබා දුන්නා. කාන්තා ක්‍රිකට් දැන් දියුණු වෙමින් තියෙනවා. ඉදිරියේදී පාසල් කාන්තා මහා ක්‍රිකට් තරග පවත්වා දක්ෂ ක්‍රීඩිකාවන් බිහි කිරීමට වැඩ පිළීවෙලක් ඇති කොට තිබෙනවා“ සිල්වා මහතා සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය ඇමැතූ ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමට බැදී ඇත්තේ සාමාජික සංගම්වලට පමණක් බවයි. “ අප දන්නවා අපේ වගකීම්.ක්‍රිකට් ක්‍රීඩාවට ආද.රය කරන මහජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අපේ ප්‍රධාන වගකීමක්. වගකීම් වලට බැඳී ඇත්තේ සාමාජිකයින්ට පමණයි. අපට විරුද්ධව යමක් කරනවානම් ඒ කළ හැක්කේ සාමාජිකයින්ට පමණයි. අප ක්‍රීඩා අමාත්‍යාංශය සමගත් ක්‍රියා කළ යුතුයි. මොනවා වුණත් අප නිලවරණයකින් පත්වූ නිලධාරී කණ්ඩායමක් නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග විශාල විශ්වාසයකින් වැඩ කරනවා“ මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් 2022 වසරේ නොවැම්බර් මස 23 වැනි දින පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රි පුද්ගල නිලවරණ කමිටුවක් පත් කරන ලද අතර එහි ප්‍රධානී ලෙස අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මිය පත් කරනු ලැබුවාය. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන සුනිල් ‌සිරිසේන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ක්‍රිකට් නිලවරණ කටයුතු මෙහෙයවීම සිදු කළහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar