එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් ඕමානයට එරෙහි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (23 දා) සමත්විය. ‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ ජයත් සමග මෙතෙක් දිනක් එහි පෙරමුණ ගෙන සිටි ඕමාන කණ්ඩායම දෙවැනි තැනට ඇද දමමින් පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
පිට පිටම දෙවැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීමත් සමඟ ඕමාන් ඉනිම පන්දුවාර 30.2 කදී ලකුණු 98 කට සීමා විය. ඕමාන් ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී ඔවුන් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ශ්‍රී ලංකාව 15 වැනි පන්දුවාරය අවසන් වත්ම එකම කඩුල්ලක් හෝ ලබා නොදී ඉලක්කය සපුරා ගත්තේය. මීට ගලින් ඕමාන් කණ්ඩායම එක්දින තරගයකදී දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ නැමීබියාවට එරෙහිව 2019 වසරේදී ලබා ගත් ලකුණු 81 විය.
කඩුලු 10 ක ජයක් ලෙසින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී දිමුත් කරුණාරත්න හතරේ පමර 8 ක්ද සමඟ පන්දු 51 කදී ලකුණු 61 ක්ද පැතුම් නිස්සංක හතරේ පමර 5 ක් ද සමඟ පන්දු 39 කදී ලකුණු 37 ක්ද ලබා සිටියහ. දිමුත් කරුණාරත්න අද ලබා ගත් අර්ධ ශතකය ඔහුගේ එක්දින තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වද්දී පිට පිටම ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය ලෙසින්ද වාර්තා වූවේය. දිමුත් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භයට පෙර පැවැති පුහුණු තරග දෙකේදීද ඇමරිකාවට සහ නෙදර්ලන්තයට එරෙහිව පිළිවෙළින් ලකුණු 111 ක් සහ ලකුණු 47 ක් ලබා ගත්තේය.
වැසි අන්ධකාරය පැවැති හෙයින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා දෙවරක් නොසිතා පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කර සිටියේය. මෙම තරගයේදී ලකුණු 13 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුවත්, කසුන් රජිත සහ ළහිරු කුමාර ඉනිම බිඳ දැමීමේ පෙරමුණ ගත් පන්දු යවන්නන් බවට පත්වූහ.
තම පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී කාශ්‍යප් ප්රජාපතීගේ (01) කඩුල්ල දවා ගත් ළහිරු කුමාර කසුන් රජිතගේ සහායද සමග මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට ඕමාන් පිලේ කඩුලු 4 ක් දවා ගනිමින් වනිදු හසරංගට සිය පන්දු යැවීමේ ආධිපත්‍ය පතුරුවාලීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දුන්හ. පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 51 ක් දක්වා දීර්ඝ කිරීමට ජිතේන්දර් සිං සහ අයාන් ඛාන් සමත් වද්දී ඊට හරස් වුණු හසරංග ජිතින්දර්ව දවා ගනිමින් එම සම්බන්ධතාව බිද දැම්මේය. එතැකින් නොනැවතුණු දකුණත් පා දඟ පපන්දු යවන්නා ඊළඟ පන්දු 4 ඇතුළත තවත් කඩුලු 2 ක් දවා ලමින් ඕමාන් කණ්ඩායම තවත් අසණ භාවයට ඇද දැම්මේය.
පළමු තරගයේදී කඩුලු 6 ක් දවා ගත් වනිඳු මෙම තරගයේදීත් කඩුලු 5 ක් දවා ගැනීමට සමසත්වීම නිසා පිට පිටම දෙවැනි වතාවටත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.
පැයට සැතපුම් 135 ත් 140 ත් අතර වේගයක් සහිතව පන්දු යැවූ ළහිරු කුමාරගේ පන්දු යැවීම ස්තරම්ම මට්ටමේ පැවැතිණ. ලකුණු 22 ක් ඇතුළත ඉදිරි පෙළ කඩුලු 3 ක් දවා ගැනීමට කුමාර සමත් වද්දී කසුන් රජිත එක් කඩුල්ලක් බිඳ හෙළුවේය.
මෙම තරාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන තෙවැනි තරගය ලබන 25 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී පැවැත්වේ.
ඕමාන් පන්දුවාර 30.2 කදී සියලු දෙනා දැවී ලකුණු 98 යි – (ජතින්දර් සිං 21, අයාන් ඛාන් 41, ෆයාස් බට් 13*, වනිඳු හසරංග 13/5, ළහිරු කුමාර 22/3, කසුන් රජිත 17/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 15 කදී කිසිවකු නොදැවී ලකුණු 100 යි – (පැතුම් නිස්සංක 37*, දිමුත් කරුනාරත්න 61*)