BY CHAMILA KARAWITA
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අලුතින්ම හඳුන්වා දෙන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි අදියර හෙවත් 2023-2025 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබන ජුලි මස 20 වැනිදා ආරම්භ වනු ඇත.
තරග 2 කින් සමන්විත එම ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය එම 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගිවීම සදහා බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම ලබන ජූලි 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ටෙස්ට් තරගාවලියට පෙර ජූලි 11 සහ 12 යන දිනවලදී දෙදින පුහුණු තරගයකටද සහභාගිවීමට නියමිතය. මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය කුමක්ද යන්න මෙතෙක් තීරණය කර නොමැත.
ඉකුත්දා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේදී දෙවැනි ටෙස්ට් ලෝක ශූරයින් ලෙස ඔස්ට්‍රේලියාව කිරුළු පළඳනු ලැබීය.
ඉදිරි 2025 වසර සඳහා වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය වර්තමාන ටෙස්ට් ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අලුබඳුන ක්‍රිකට් තරගාවලියත් සමග ආරම්භ විය. තරග 5 කින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයෙන් පසු අවසන් වේ.
මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය සමස්ථ තරග 68 කින් සමන්විත වන අතර අවසන් මහ තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එම ටෙස්ට් තරග 68 ට, ටෙස්ට් තරගාවලි 27 කින් සමන්විත වේ.
මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලි සඳහා රටවල් 9 ක් තරග වදිනු ලබන අතර ශ්‍රී ලංකාවට අමතරව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්ත්ය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සෙසු රටවල් වෙති.
තරග 2 සිට තරග 5 කින් සමන්විත තරගාවලි ඇතුළත් මෙවර ටෙස්ට ශූරතාවලියෙදී සෑම කණ්ඩායමක්ම මව්බිමේදී තරගාවලි 3 කටත් එතෙරදී තරගාවලි 3 කටත් වශයෙන් රටවල් 6 ක් සමඟ තරග වදිනු ඇත. මෙහි මූලික වටය යටතේ ප්රසාාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පැමිණෙන කණ්ඩායම් 2025 වසරේ ලෝඩ්ස්හි පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
ටෙස්ට් තරග ජයග්රහණයකදී ප්‍රසාද ලකුණු 12 ක් හිමිවන අතර තරගයක් ජය පැරදුමින් තොරව අවසන් වුවහොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 4 බැගින්ද පිරිනැමෙනු ඇත. එමෙන්ම තරගයක ලකුණු සම වුවහොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 6 බැගින් බෙදී යන අතර තරග පරාජයේදී කිසිදු ලකුණක් ලබා නොලැබෙනු ඇත. එමෙන්ම නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් නොකරන අවස්ථාවන්හිදීද එම කණ්ඩායම සතු ප්‍රසාද ලකුණු වලින් අඩු කිරීමක්ද සිදුවන බව එම තරගාවලි නීති රීතීන්වල පැහැදිළිවම සටහන් වේ.
මෙවර ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට අමතරව, නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට, දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2 බැගින් ක්‍රීඩා කරනු ඇත. පාකිස්තානයට එරෙහි තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේදී තරගවැදීමට නියමිතය.
දිනය |
තරගය |
ක්‍රීඩාංගණය |
ජූලි 11 – 12 | දෙදින පුහුණු තරගය | තීරණය කර නොමැත |
ජූලි 16 – 20 | පළමු ටෙස්ට් තරගය | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය |
ජූලි 24 – 28 | දෙවැනි ටෙස්ට් තරගය | එස්.එස්.සී. ක්‍රීඩාංගණය |
පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම – බාබර් අසාම් (නායක), මොහමඩ් රිස්වාන් (උප නායක), ආමර් ජමාල්, අබ්දුල්ලා ශෆික්, අබ්රාර් අහමඩ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් හුරයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලී, සල්මන් අලි අඝා, සෆ්රාස් අහමඩ්, සෞද් ශකීල්, ශහීන් අෆ්රිඩි, ශාන් මසූඩ්.
පුහුණු කාර්යය මණ්ඩලය – රෙහාන් උල් හක් (කලමනාකරු), ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් (ප්‍රධාන පුහුණුකරු), ඇන්ඩෘ පිටික් (පිතිකරණ පුහුණුකරු), මෝනි මෝකල් (පන්දු යැවීමේ පුහුණුකරු), අෆ්ටාබ් ඛාන් (පන්දු රැකීමේ පුහුණුකරු), අබ්දූල් රෙහ්මාන් (සහාය පුහුණුකරු), ඩ්රයිකස් සායිමාන් (ශක්තීය සහ සමබරතාව පිළිබඳ පුහුණුකරු), ක්ලිෆ් ඩීකෝන් (භෞත චිකිත්සක), අහ්සන් ඉෆ්තිකාර් (මාධ්‍ය සහ ඩිජිටල් අන්තර්ගත කලමනාකරු), උස්මාන් අන්වාරි (ආරක්ෂක කලමනාකරු), තල්හා ඉජාස් (පරිගණක දත්ත විශ්ලේෂක), මාලංග් අලී (සම්බාහක)