slc
logo
Home   |    News
ජූනි 9, 2023
දික්වැල්ලගේ වේගවත් ප්‍රහාරයෙන් එන්. සී. සී. අවසන් මහ සටනට

sinhala editor

නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම වෙනුවෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරිමට එන්. සී. සී. කණ්ඩායම අද (09 වැනිදා) සමත්විය. ඒ අනුව එන්. සී. සී. පිල ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුවේය.

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දික්වැල්ල පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව මුවර්ස් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී තරගයට වර්ෂාව හරස්විය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි මුවර්ස් පිල පන්දුවාර 10 කදී කඩුලු 4 කට ලකුණු 95 ක් රැස් කරගෙන සිටියේය.

මිනිත්තු 90 කට ආසන්න කාලයකින් පසු ඇරැඹි තරගය එක් පිලකට පන්දුවාර 13 බැගින් සීමා වූ බැවින් මුවර්ස් කණ්ඩායමට තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබූ පන්දුවාර 3 දී ලකුණු 36 ක් රැස් කර ගත්තේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එන්. සී. සී. කණ්ඩායමට පන්දුවාර 13 කදී ලකුණු 138 ක ඉලක්කයක් හිමිවූ අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ මූලිකත්වය ගත්තේය. දික්වැල්ල කෙතරම් වේගයෙන් පන්දුවට පහර දුන්නේද කිවහොත් මුහුණ දුන් 18 වැනි පන්දුවේදී හේ අර්ධ ශතකය සපුරා ගත්තේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 18 කදී ලකුණු 44 ක් ලබා ගත්තේ සිය කඩුල්ල නොබිඳීව තබා ගනිමිනි. හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සහන්ගේ ඉනිම වර්ණවත් වද්දී එන්. සී. සී. කණ්ඩායම තවත් පන්දු 19 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේය. එන්. සී. සී, ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම දුවද්දී දැවී යෑම් ලෙසින් සටහන් වූ අතර උපුල් තරංග පමණක් ළහිරු සමරකෝන් හමුවේ ලකුණු 05 කට දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් සොහාන් ඩි ලිවේරා පන්දු 17 කදී ලකුණු 37 ක් රැස් කරගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුට අමතරව ජනිෂ්ක පෙරේරා පන්දු 21 කදී ලකුණු 28 ක්ද පසිදු සූරියබණ්ඩාර පන්දු 14 කදී ලකුණු 28 ක්ද ලබා ගත්හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 13 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 131 යි – (සොහාන් ද ලිවේරා 37, ජනිශ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 28, මොහොමඩ් ශමාස් 19, දිනුක ඩිල්ෂාන් 04, ඔමේෂ් මේඩිස් 08, රමේෂ් මෙන්ඩිස් 02*, චාමික ගුණසේකර 35/1, නිපුන් රන්සික 33/1, අසේල සිගේරා 12/1, ලසිත් ඇඹුල්දෙණිය 13/1)

එන්. සී. සී. පන්දුවාර 9.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 138 යි – (නිරෝෂන් දික්වැල්ල 70*, සහන් ආරච්චිගේ 44*, කමිල් මිශාර 15, තවීෂ හදූවආරච්චි 04, උපුල් තරංග 05, ළහිරු සමරකෝන් 24/1)

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee