slc
logo
Home   |    News
ජූනි 25, 2023
දිමුත් සහ වනිඳු ශ්‍රී ලංකාව දැවැන්ත ජයක් කරා රැගෙන යති

sinhala editor

පිට පිට එක්දින තරග 3 කදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින් වනිඳු හසරංග ලබා දුන් දායකත්වයත් දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ශතකයත් නිසා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් බුලවායෝහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (25 දා) හැකියාව ලැබිණ. මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් සිය අපරාජිත බවට රැක ගත් ශ්‍රී ලංකා කණඩායම තරගාවලියේ දෙවැනි තරගය වටය වන සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයටද සුදුසුකම් ලබා ගත්තේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික තරග වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදි අතර එහිදී අද තරගය හැරුණු කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 175 කින් සහ ඔ්මානයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් මීළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහි තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව තියෙද්දී වීම කැපී පෙනෙයි.

පළමුව පන්දුවට පහර දීම අසීරු යැයි සැලකෙන බුලවායෝ තණතීරුවේ පළමු පන්දුවාර 10 අවසන් වන විට පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකාව වෙතට එල්ල කිරීමට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. එතැනින් නොනැවතුණු අයර්ලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 6 දී ලකුණු 44 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූ නමුත්, ඒ අතරතුර කාලයේදී අයර්ලන්තයට වඩා සෑම අවස්ථාවකදීම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා පිල සමත්වීම නිසා ලකුණු 133 ක දැවැන්ත ජයග්‍රහණයකින් තරගය නිමා කර ගැනීමට සමත්විය.

දිමුත් කරුණාරත්නගේ වටිනා ඉනිම ප්‍රධාන කොට ලකුනු 325 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වද්දී ඊට වඩා වටිනාකමක් එක් කළ වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නෝ අයර්ලන්ත ඉනිම පන්දුවාර 31 කදී ලකුණු 192 කට සීමා කළහ. ශ්‍රී ලංකාව, ඔ්මානය සහ ස්කොට්ලන්තය සමඟින් ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග සුදුසුකම් ලබද්දී එක්සත් අරාබි එමීර් පිලට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු බොද කර ගන්නට අයර්ලන්ත පිලට සිදුවිය.

අද ලබා ගත් ශතකයට පෙර දිමුත් ක්‍රීඩා කරන ලද තරග 4 දීම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙයි. මුහුණ දුන් 101 වැනි පන්දුවේදී තම මංගල ශතකය දිමුත් සපුරා ගත්තේ හතරේ පහර 8 ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. දිමුත් කරුණාරත්න මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබන ලද්දේ අවසන් මොහොතේ වුවත් මේ වන විට කණ්ඩායම සතු විශ්වාසවන්තම පිතිකරුවා බවට පත්වීමට වමත් ටෙස්ට් නායකයා සමත්ව සිටින්නේය.

දිමුත්ට අමතරව වනිඳුටද එක්දින කණ්ඩායමේ ස්ථානය අස්ථීරව තිබියදී තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දකුණත් පා දඟ පන්දු යවන්නා මෙතෙක් පැවැති තරග 3 දී කඩුලු 16 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. වනිඳු විසින් අද දිනයේ සම කරන ලද්දේ 1990 වසරේදී පිට පිට එක්දින තරග 3 කදී කඩුලු 5 ක් දවා ගනිමින් එතෙක් තනිව ලෝක වාර්තාවට හිමිකම් කී වකාර් යුනිස් සමඟ සම තැන් ගනිමිනි.

මෙම තරගයේදී වනිඳු විසින් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුවත් තරගයේ ජයග්‍රහනයට පැහැදිළිවම දිමුත්ගේ ශතකය ඉවහල් වූ බව අවිවාදිතය. ඒ මන්ද යත් නවවැනි පන්දුවාර‌ය යවන ලද බැරී මැකාති විසින් පිට පිට පන්දු දෙකකදී පැතුම් සහ කුසල් මෙන්ඩිස් දවා ගනිමින් ශ්‍රී ලංකා පිල අසීරුවේ හෙළූ බැවිනි. පන්දුවට පහර දීමට වඩාත් අසීරු බුලවායෝ තණතීරුවේදී සධීර සමරවික්‍රමට එකතු වූ දිමුත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවන ලද ආකාරය වඩාත් සිත් ගන්නා සුලුවිය.

කඩුලු ත්‍රිත්වයෙන් බේරීම සඳහා එවන ලද පන්දුවට කිසිදු චකිතයක් නොපෙන්වූ සධීර සමරවික්‍රම මනරම් කවර් ඩ්‍රයිව් පහරකින් ලබා ගන්නා ලද හතරේ පහරත් සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එතැන් පටන් ඇරඹුණු තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 168 ක් දක්වා වන තෙක්ම දිමුත්, සධීරවද ආරක්ෂා කර ගනිමින් අවදානම් රහිත පහරවල් කරා යමින් ලකුණු රැස් කරනු දක්නට ලැබිණ. ඒ නිසාම මෙම තරගයේ වීරයා සම්මානයෙන් ද දිමුත් පිදුම් ලැබුවේය.

දැවැන්ත පහර වලින් ලකුණු රැස් කිරීමට වඩා ක්‍රීඩකයින් රහිත ස්ථාන වෙත පන්දුව යොමු කරමින් ලකුණ, දෙක ලබා ගනිමින් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 325 සීමාව දක්වා පැමිණීමට ප්‍රධාන අඩිතාලම එක් විණ. ඒ අතරතුරදී අතපසුවීමක් සිදුවූයේ නම් ඒ ලකුණු 66 ක් ලබා සිටියදී මිඩ් ඔන් කලාපය වෙත සධීර ලබා දෙන ලද උඩ පන්දුව පමණක් විය. කෙසේ වෙතත් සධීර පන්දු 82 කදී ලකුණු 86 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වැඩි සේවයක් කළ අනෙක් පිතිකරුවා බවට පත්වූවේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (දිමුත් කරුනාරත්න 103, පැතුම් නිස්සංක 20, කුසල් මෙන්ඩිස් 0, සධීර සමරවික්‍රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා 42*, දසුන් හානක 5, වනිඳු හසරංග 4, මහීෂ් තීක්ෂණ 0, ළහිරු කුමාර 4, කසුන් රජිත 0, මාර්ක් අඩයර් 46/4, බැරී මැකර්ති 56/3, ගැරත් ඩෙලනි 52/2)

අයර්ලන්තය පන්දුවාර 31 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි – (ඇන්ඩි මැක්බ්‍රීන් 17, පෝල් ස්ටර්ලිං 6, ඇන්ඩි බැල්බර්නි 12, හැරී ටෙක්ටර් 33, ලෝකන් ටකර් 0, කර්ටිස් කැම්පර් 39, ජෝර්ජ් ඩොකර්ල් 26, ගැරත් ඩෙලනි 19, මාක් අඩයර් 4, බැරී මැකාර්ති 5, ජොෂ් ලිට්ල් 20, වනිඳු හසරංග 79/5, මහීෂ් තීක්ෂණ 29/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar