slc
logo
Home   |    News
ජූලි 15, 2023
අවසන් මහ තරගය ඉලක්ක කොට ශ්‍රී ලංකාව හෙට ටෙස්ට් ලෝක ශූරතා සටන අරඹයි

sinhala editor

By Chamila Karawita

2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම පකිස්ථානයද සහභාගි වන පළමු තරගය හෙට (16 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

සිම්බාබ්වේහි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වුණු දිමුත් කරුනාරත්න හෙට තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙවනු ඇත. ප්‍රතීවාදී පාකිස්තානු පිල සුපුරුදු පරිදි බාබර් අසාම්ගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

දිමුත්ගේ එම ආබාධය නිසා සුදුසුකම් ලැබීමේ අවසන් තරගය වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයටද දිමුත් සහාගිවීමෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත් එම තත්ත්වය මේ වන විටත් පූර්ණ අතට පත්ව සිටීම නිසා දිමුත් හෙට තරයට ක්‍රීඩා කරනු ඇත. මෙම අවධානම් සහගත තත්ත්වය හේතුවෙන් තේරීම් කමිටුව විසින් කල්තියාම ධනංජය ද සිල්වා ව කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර තිබුණේ දිමුත්ගේ ස්ථානයට ආදේශකයක් ලෙසිනි.

“ආබාධිත තත්ත්වය දැන් බොහෝ දුරට සුව අතට පත් වෙලා තියෙනවා. මේ ටෙස්ට් තරගය ගොඩක් වටින හින්දා තමයි මම අවසන් මහ තරගයට ක්‍රීඩා කළේ නැත්තේ. මොකද ඒ තරගයට සෙල්ලම් කරලා ආබාධය වැඩි වුනොත් එහෙම මට ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්න වෙන්නේ නෑ. මං හිතන්නේ දැන් සෑහෙන්න දුරට හොඳයි. එම්. ආර්. අයි. ස්කෑන් එකක් කළා. ඒකෙදි පෙනුනා ඒක යථා තත්ත්වයට පත් වෙලා කියලා. තිබුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සියල්ලම මම සමත් වුණා. බලාපොරොත්තු වෙනවා හෙට තරගයේදී හොඳින් ක්‍රීඩා කරන්න” යැයි හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා දිමුත් කරුනාරත්න අදහස් දක්වා සිටියේය.

පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද සංචිතයට පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක කැඳවා ඇතත් හෙට තරගය සඳහා ඔවුන් දෙදෙනාටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැත. පැතුම්ගේ ආදේශකයා ලෙස යොදවන ලද නිශාන් මදුශ්ක ආරම්භක පිතිකරුවාගේ වගකීම අකුරටම ඉටු කර තිබෙන බැවින් හෙට තරගයේදී පැතුම්ගේ සහාය කණ්ඩායමට අවශ්‍ය නොවනු ඇත. එමෙන්ම වේග පන්දු යවන්නන් ලෙස කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාට පළමු තේරීම වන බැවින් මදුශංකට ටෙස්ට් හිස්වැස්ම දිනා ගැනීම වෙනුවෙන් තවත් කල් බලා සිටීමට සිදුවනු ඇත.

දිමුත් සමඟ නිශාන් ඉනිම අරඹද්දී, කුසල් අංක 3 ස්ථානයේත් මැතිව්ස් සහ චන්දිමාල් අංක 4 සහ 5 පිතිකරුවන් ලෙස ක්‍රීිඩා කරති. අවශ්‍ය විටෙක දඟ පන්දු යැවිය හැකි ධනංජය ද සිල්වා 6 වැනි පිතිකරුවා වද්දී කඩුලු රැකිමේ අත් ආවරණ සධීරට භාර කෙරෙනු ඇත. ගාල්ල තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ ස්ථානය නිතැතින්ම ප්‍රභාත් ජයසූරිය වෙත හිමි වද්දී පිට දඟ පන්දු යවන්නා ලෙස රමේෂ් මෙන්ඩිස්ද වේග පන්දු යවන්නන් ලෙස කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දුද කටයුතු කරනු ඇත.

නිමාවට පත් වුණු ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානයට පත්වූ අතර පකිස්ථානය එම තරගාවලිය නිමා කළේ 7 වැනි කණ්ඩායම ලෙස ය. එහෙත් නවතම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය අංක 6 ස්ථානයේත් ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේත් රැඳී සිටත් හෙට තරගයට ක්‍රීඩා කරති.

අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා, “මගේ කන්ඩායම ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ලෝක ශූරතා ටෙස්ට් තරගාවලි සමාරම්භක තරගයේදී මගේ අරමුණ වන්නේ හැම තරගයදක්ම දිනාගෙන අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීම” යැයි සඳහන් කර සිටියේය.

පාකිස්තානු කඳවුර දෙස බලන විට වසරක් පුරා ටෙස්ට් තරග වලින් ඉවත්ව සිටි වේග පන්දු යවන ශහීන් ෂා අෆ්රිඩි ශ්‍රී ලංකාවේ ප්‍රබලම අභියෝගය වී සිටියි. ඉකුත් වසරේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ගොදුරුවීඹ නිසා අෆ්රිඩි වසරක පමණ කාලයක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබීණ. ගාල්ලෙන් නතර වුණු අෆ්රිඩි යළිත් ගාල්ලෙන්ම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමද දෛවෝපගත සිදුවීමක් ලෙස හැඳින්විය හැකි. කෙසේ වෙතත් ඔහු හෙට තරගයට අවතීර්ණ වන්නේ තම 100 වැනි ටෙස්ට් කඩුල්ල අපේකෂාවෙනි. මේ වන විටත් කඩුලු 99 ක් ලබා සිටි වමත් වේග පන්දු යවන්නා හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවහොත් පාකිස්තානය වෙනුවෙන් කඩුලු 100 ක් බිඳ හෙළන ලද 11 වැනි වේග පන්දු යවන්නා ලෙසින් ඔහු ඉතිහාස ගත වනු ඇත.

මේ අතර හෙටින් ආරම්භ වන තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය නැරඹීම සදහා කිසිදු මුදලක් අය නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව හෙට ආරම්භ වන පළමු තරගයත් ලබන 24 වැනිදා කොළඹදී එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයත් නොමිළේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, කමිඳු මෙනඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ෂාන් මදුශංක, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ.

පාකිස්තානු කණ්ඩායම – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ශෆික්, ඉමාම් උල් හක්, සෆ්‍රාස් අහමඩ්, සෞද් ‌ශකීල්, ශාන් මසූඩ්, ආමර් ජමාල්, අඝා සල්මාන්, මොහොමඩ් නවාස්, මුහමද් හුරේයිරා, අබ්රාර් අහමඩ්, හසන් අලී, නසීම ෂා, නෝමන් අලී, ශහීන් ෂා අෆරිඩි.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee