By Chamila Karawita
අනවශ්‍ය පහර එල්ල කිරීම, කඩුලු අතර දිව යෑමේදී වූ අතපසුවීම් මෙන්ම සත්කාරකත්වයේ වාසිය නිසියාකාරව ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වද්දී පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම විශිෂ්ඨ මට්ටමක පවත්වාගත් පාකිස්තානු ක්‍රීඩකයෝ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී සැලකිය යුතු මට්ටමේ වාසියක් අත්කර ගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 166 කට සීමා වද්දී ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියි. ඒ අනුව ඔවුනට ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යෑමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 21 ක් පමණි.
පාකිස්තානු ඉනිම ක්‍රියාත්මක වද්දී ශාන් මසූඩ් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හොඳම අවස්ථාවක් ලැබුණු නමුත් තෙවැනි විනිසුරු විමසීමට ශ්‍රී ලංකා කණ්ඩායම උනන්දු නොවීම නිසා එහි වාසිය පාකිස්තානුවන් සතු විය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කළේ යැයි දැවැන්ත ඉල්ලීමක් සිදුකළද එය තෙවැනි විනිසුරු විමසීමට නොගොස් ප්‍රධාන විනිසුරුගේ තීරණයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෑහීමකට පත් වූහ. එහෙත් පුණරූපණවලට අනුව එය නිසැක දැවී යෑමක් ලෙස සටහන් විය. ඒ වන විටත් ශාන් මසූඩ් රැස් කරගෙන සිටියේ ලකුණු 10 කි. එම අවස්ථාවෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගැනීමට සමත් වූයේ නම් තරගය නිමා කරන විට දැවී ගොස් තිබූ කඩුලු සංඛ්‍යාව 3 ක් වන්නට ඉඩ තිබිණ.
ලොතරැයි වාසනාවක් බඳු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශාන් මසුඩ් තම ඉනිම ලකුණු 51 දක්වා ඉහළ දමා ගත්තේය. ඒ එක් අවස්ථාවකි. මසූඩ්ට අමතරව අබ්දුල්ලා ශෆීක් ලකුණු 42 ක් ලබා සිටියදී පන්දු යැවූ ප්‍රභාත් නිශ්ශංකට පෙරළා ලබා දුන් පහසු උඩ පන්දුවද ඔහු අතින් ගිලිහී යෑම, තරගයේ දක්ෂතා වලට අමතරව දිනයේ වාසනාවද පාකිස්තානු පිලට නතු වුණු දිනයක් විය.
තේ පානයට පෙරම ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 166 කදී නවතා දැමීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. පළමු කඩුලු 4ම ලකුණු 36 ක් ඇතුළත බිද වැටී අසීරු අඩියකට වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට කිසියම් ජීවයක් ලබා දීමට පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා සමත්විය. පන්දු 118 කදී ලකුණු 85 ක් එක් කළ ධනංජය – චන්දිමාල් සම්බන්ධතාව නසීම් ෂා විසින් බිඳ දැමීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු ධනංජය ද සිල්වා ලකුණු 57 ක ලබා ගත්තේය. ඒ හැරුණ විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත් වූයේ දිනේෂ් චන්දිමාල් (34) සහ රමේෂ් මෙන්ඩිස් (27) ක් පමණි. ශ්‍රී ලංකා පළමු ඉනිම බිඳ දැමීමේ පෙර ගමන් කරුවන් වූ අබ්රාර් අහමඩ් ලකුණු 54 කට කඩුලු 4 ක්ද නසීම් ෂා ලකුණු 41 කටා කඩුලු 3 ක්ද වශයෙන් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූහ.
ශ්‍රී ලංකා ඉනිම මෙතරම් අඩු ලකුණු සංක්‍යාවකට සීමා වීමට මූලිකම හේතු වූයේ දුර්වල පහර එල්ල කිරීමට යෑමය. ඒ හැරුණු විට පාකිස්තානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු රැකීමද ශ්‍රී ලංකාවේ අවාසියට හේතු වූවේය. ඔවුන් ලැබෙන සුළු අවස්ථාවෙන් වුවද පන්දු රැකීමෙන් උපරිම වාසිය තම කණ්ඩායමට ලබා දුන්නේය. මෙහිදී පන්දු යවන්නන් කඩූල 8 ක් දවා ගනිද්දී කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කරමින් දවා ගත් දුවද්දී දවා ගැනීම් දෙකකට ශාන් මසූඩ් දායකවිය.
පා ඉන්න පෙදෙසින් පන්දු රකින්නන් සිව් දෙනෙකු යොදවා කෙටි පන්දු වැළක් යැවූ නසීම් ෂා දිනේෂ් චන්දිමාල්ව දවා ගත්තේය. ඒ සමඟම ඉනිමේ වාර්තා වුණු සාර්ථකම සම්බන්ධතාව ලකුණු 85 දී බිඳ වැටිණ. අනතුරුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම (00) තෙවැනි වතාවටත් මෙම තරගාවලියේදී අසාර්ථක වූයේ ෂෝට් ලෙග් ස්ථානයට උඩ පන්දුවක් ලබා දීමෙනි.
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවතාවක් බේරා ගත් ධනංජය ද සිල්වා අද දිනයේදී සිය 13 වැනි අර්ධ ශතකයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. ඩීප් මිඩ් විකට් කළාපයේ සිටි සෞද් ශකීල් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනජයගේ ඉනිම නිමාවට පත්වූවේය.
කෙසේ වෙතත් රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු ප්‍රභාත් ජයසූරිය 8 වැනි කඩුල්ල වෙනුවෙන් කිසියම් ස්ථාවරයත්වයක් ගොඩ නඟා ගෙන ඒමට සමත් වද්දී නිශාන් මදුෂ්කව දුවද්දී දවා ගැනීමකට හසු කරගත් ශාන් මසූඩ් ප්‍රභාත් ජයසූරියවද කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කරමින් දවා ගත්තේය.
පසුව රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු අසිත ප්‍රනාන්දු 9 වැනි කඩුල්ලට ලකුණු 27 ක් රැස් කළහ. මෙම ඉනිමේ දෙවන හොඳම ස්ථාවර සම්බන්ධතාව ලෙසින් සටහන් විය.
අනවශ්‍ය පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේද කුසල් මෙන්ඩිස් නිකරුණේ ශහීන් ෂා අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී ගිය අනෙක් කඩුලු 3 න් 2 ක්ම නසීම් ශා විසින් දවා ගනු ලැබිය. ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට දකුණත් වේග පන්දු යවන්නා සමත්වූවේය.
ශ්‍රී ලංකාවට සිව්වැනි කඩුල්ල අහිමි වන විට ලකුණු පුවරුව යන්තම් 36 ක් ලෙස සටහන් විය. අසීරුතාවය මැඩ ගනනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ලකුණු 50 රැස් කර ගැනීම සඳහා පන්දු 108 ක් වැය කළේය.
ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)
පාකිස්තානය පන්දුවාර 28.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 145 යි – (අබ්දුල්ලා ශෆීක් 74*, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 08, ශාන් මසූඩ් 51, අසිත ප්‍රනාන්දු 41/2)