පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.
22 හැවිරිදි මධුශංක මෑත කාලයේදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවේදී වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින අතර එබැවින් ඔහුට ඉකුත්දා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකම හිමිවිය. ඔහු වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දරන ලද වියදම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න විය.
16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළිත් ටෙස්ට් නායකයා ලෙසින් කටයුතු කරන ලද දිමුත් කරුණාරත්න විසින්ම මෙහෙයවනු ඇත. ඉකුත් අප්‍රේල් මසදී නිමාවට පත්වුණු අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලිය 2-0 ක් ජය ගැනීමෙන් පසු තමා නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව කරුණාරත්න මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.
මේ අතර අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා නම් නොකෙරුණු පැතුම් නිස්සංක සහ කසුන් රජිතව පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා නම් කර තිබීම කැපී පෙනෙයි. ඊට අමතරව 23 හැවිරිදි පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂිත මනසිංහවද ටෙස්ට් තරගාවලිය සදහා නම් කරන ලද 16 දෙනා අතරට ඇතුළත් වේ. ඔහු පළමු පෙළ තරග වලදී පන්දුවට පහර දෙමින් ලකුණු 1111 ක් සහ පන්දු යවමින් කඩුලු 37 ක් බිඳ හෙළා ඇත්තේ එම අංශයේ තරග 37 ක් නියෝජනය කරමිනි.
දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ කොළඹ නාලන්දා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ සිටියි. මේ වන විටත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මනසිංහ 2019 වසරේදී දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. පළමුව ඔස්ටේලියානු ‘ඒ’ පිලට එරෙහිව හම්බන්තොට දී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලියේදී ‘ඒ’ වරම් ලද මනසිංහ එම තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නේය. එම දක්ෂතා මත ඊට පසු ටෙස්ට් තරග 2 ක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරනු ලැබීය.
ටෙස්ට් වරම් දිනා ගැනීමට අපොහොසත් වුවත්, ඔහු අනතුරුව එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් තේරීම් කමිටුවේ වැඩි විශ්වාසයක් දිනා ගැනීමට මනසිංහ සමත්ව සිටියි. ඔහු ඉකුත්දා නිමාවට පත් වුණු දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කන්ඩායමේ ශ්‍රී ලංකාව තරග සංචාරය යටතේ පැවැති නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ තරග 2 දී කඩුලු 12 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලද පන්දු යවන්නා බවටද පත්වූවේය.
එම තරගාවලිය නියෝජනය කරන ලද මදුශංක එක්දින තරග 3 දී කඩුලු 9 ක් සහ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 4 ක් වශයෙන් සමස්ථ තරගාවලියේදී කඩුලු 13 ක් බිද හෙළීමට සමත්වූවේය.
මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, කමිඳු මෙනඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රජිත, ඩිල්ෂාන් මදුශංක, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ.