slc
logo
Home   |    News
ජූලි 25, 2023
සල්ලි දුන්නා කියලා ඔප්පු කළොත් අපි ‌ඉල්ලා අස් වෙනවා” – ක්‍රිකට් සභාපතිගෙන් අභියෝගයක්

sinhala editor

By Chamila Karawita

ඉකුත් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නලු නිළියන්ට සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තණතුරුවලින් වහා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අභියෝගයක් ලබා දුන්නේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (25 දා) පස්වරුවේ කැඳවන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රිකට් සභාපතිවරයා උක්ත ප්‍රතිඥාව ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා, එම තරගාවලියට සහභාගිවූ නළු නිළියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බව ඇත්තක් නමුත්, ඒ සෑම ලිපියක්ම ලබා දෙන ලද්දේ ප්‍රවේශ පත්‍ර ලබා දෙනු ලබන බව පවසමින් මිස අනුග්‍රාහකත්වයක් ලබා දෙන බව පවසමින් නොවන බවද අවධාරණය කර සිටියේය. මෙම නළු නිළියන් සහභාගිවීමේ මූලිකම අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමටද බවද ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

“ඇත්ත වශයෙන්ම මේක තනිකර බොරුවක්. මෙකේ සත පහක් අපි පවුලේ හිතවතකුට වියදම් කරලා නෑ” යැයි ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“ලෝකෙ හැම රටක්ම වගේ ගත්තොත් ඉන්දියාව ඒක ‌නළු නිළියෝ ඔක්කොම ඇවිල්ලා සපෝර්ට් කරනවා. ඒකට දායකත්වය දැක්වුවහම තමයි ඒකෙ ආකර්ෂණය එන්නේ’ යැයි සඳහන් කර සිටින ශම්මි සිල්වා මහතා, මෙය ලංකාවට ආධුනික වුවද ඉන්දියාව වැනි රටවල මෙය බහුලව සිදුකෙරෙන්නක් බවද සඳහන් කර සිටියේය.

“මම සමාජ මාධ්‍යවල දැක්කා අපේ උප සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාට ගහනවා නිළියොත් එක්කයි නළුවොත් එක්කයි ඉන්නවා කියලා. ඇත්තටම ඒ මහත්තයා ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිතුමා. එයා නළු නිළියොත් එක්ක ආශ්‍රය කරන්නේ නැතුව හිර කාරයෝ ආශ්‍රය කරන්නද…? යැයි ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍යයෙන් ප්‍රශ්න කර සිටියේය.

එහෙත්  ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග නැරඹීම සඳහා නළු නිළියන්  සහභාගීවීම ඇතමුන්ට දරාගන්න බැරි තරමේ ඊර්ෂ්‍යාවක් හට  ගන්නට හේතු වී ඇති බවත් ඒ නිසා ඔවුන් නොයෙකුත්  අවලාද නගමින් සිටින බවත් ක්‍රිකට්  සභාපතිවරයා පැවසීය.

“අපි විශ්වාසනීයව කියනවා අපි ශත පහක්වත් මේ එක්කෙනකුටවත් වියදම් කරලා නෑ. ශත පහක් මේ නිළියන්ට හෝ අපේ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් වියදම් කරලා තියෙනවා කියලා අද කවුරුහරි ඔප්පු කළොත් අපි හෙට මේ තණතුරු වලින් අයින් වෙන්න සූදානම්” යැයිද සභාපතිවරයා විශ්වාසයෙන් යුතුව සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව පළමුවෙන්ම චෝදනා නඟන ලද්දේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු වන හේෂා විතානගේ මහතාය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරණ ලද විගණන වාර්තාවේ කෙටුම්පතක් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශය කරමින් ක්‍රිකට් බලධාරීන් වෙත චෝදනා එල්ල කළ නමුත් ක්‍රිකට් සභාපතිවරයාගේ අදහස වන්නේ විගණකාධිපති වාර්තාව සහ කෙටුම්පත අතර වෙනස තේරුම් ගැනීමට ඔහුට නොහැකිවීම ගැ තමා කණගාටුවට පත් වන බවයි.

“මේක ඩ්‍රාෆ්ට් (කෙටුම්පතක්) එකක්. මෙක එවලා තියෙන්නේ රහිසගත ඩ්‍රාෆ්ට් එකක් විදියට. මේක කොතනින් හරි ලීක් වෙලා තියෙනවා. මේක ස්පෝරර්ට්ස් මිනිස්ට්‍රි එකට තමයි එවලා තියෙන්නේ. මේක ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන් අපිට එව්වා මෙච්චර කාලයක් ඇතිළත තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒක තමයි ඔය දාලා තියෙන්නේක ඒකෙ කිසිම තැනක නෑ අපි  අපේ හිතවතුන්ටයි නිළියන්ටයි කාටවත්වත් වියදම් කළා කියලා”.

“අපි ලියුම් දීලා තියෙනවා”.

“මේ ඔක්කොම නළු නිළියෝ අපේ අනිත් මැච් වලටත් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට ලියුමක් දීලා තියෙනවා. ඒක ඇත්තට. හැබැයි ක්‍රිකට් බෝඩ් එකේ සත පහක් අපි වියදම් කරලා නෑ. අපි වියදම් කරලා තියෙන්නේ විධායක කමිටු සාමාජිකයින්ට පමණයි. සතේට වියදම් කරලා තියෙන්නේ මිනිස්ට්‍රි ඇපෘවල් ඇතිව” යැයි ක්‍රිකට් සභාපතිවරයා සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්   ආයතනය පිළිබඳව සිදුකළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ලබන 16 වැනිදාට පෙර පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. එම විගණන වාර්තාවේ කෙටුම්පත ජුනි මස 18 වෙනිදා තමන් අතට පත්වූ බවත් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අගෝස්තු 22 දක්වා කාලය ඉල්ලා සිටි බවත් පසුව එම කාලය අගෝස්තු 16 වැනිදා දක්වා අඩු කර ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් විගණනකාධිපති  දෙපාර්තමේන්තුව මගින්  ක්‍රීඩා අමාත්‍යංශයට යොමුකළ  එම විගණන  වාර්තාවේ කෙටුම්පත තමන්ට ලැබීමටත් පෙර බාහිර පාර්ශවයන් අතට පත්වීම ගැටලුවක් බවත් තමන්ට එම කෙටුම්පත මුල් කවරයක් නොමැතිව ලැබෙද්දී ඉහත කී බාහිර පාර්ශවයන්ට එය මුල් කවරය සමඟද ලැබී තිබෙන බවද ක්‍රිකට් සභාපතිවරයා කීය.

මේ අතර 2022 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා වීසා ඉල්ලමින් ලිපි නිකුත් කළ බාහිර පුද්ගලයන් 23 දෙදෙනාගෙන් 12 දෙනෙක්ම ඔස්ට්‍රේලියාවට නොගිය බවත් එසේ වූයේ ඔවුන්ට  වීසා ලැබෙන විට අපේ තරග අවසන්ව තිබූ නිසා බවද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

“මැච් බලන්න ටිකට් ගත්ත පමණින් හැමෝටම වීසා ඉල්ලලා දෙන්න බැහැ.හැබැයි මට පුළුවන් මගේ සහෝදරයට, බිරිඳට වීසා ඉල්ලුම් කරන්න.ඒ වගේම අපේ  හොඳම හිතවතුන්ට එහෙම කරන්න පුළුවන්.හැබැයි තරහා කාරයින්ට එහෙම වීසා අරන් දෙන්න බැහැ.ඒ වගේම ක්‍රීඩා සමාජයක සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක් ඉල්ලුවොත් අපි වීසා අරන් දෙන්න කටයුතු කරන්න ඕන.

විධායක කමිටුවේ සාමාජිකයන් ලෙස අපි සතපහක පඩියක් නැතුව තමයි වැඩ කරන්නේ.අපේ සාමාජිකයන්ට මේ තනතුරු දැරීමත් එක්ක ලැබෙන  එකම වාසිය තමයි මේ මැච් බලන්න යන එක.අපි බිලියන ගණන් ආදායම් උපයලා තියෙනවා.ඒ මුදලින් සියයට දශම දෙකක මුදලක් තමයි මේ ලෝක  කුසලාන තරගාවලියේ වියදම්   වී තිබෙන්නේ” යැයි සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඩොලර් මිලියන 35 ක් ඉතුරු කර ඇති තමන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි නොවන බවත් ඒවා අයිසීසී සාමාජිකත්වය වෙනුවෙන් හිමිවන මුදල් බව ද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරියට පෞද්ගලික සමාගමක් මෙන් බවත් ක්‍රිකට්  ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව ) හමුවේ පෙනී සිටින්නේ විගණනයට යටත් වීම නිසා  පමණක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.

තමන් සමග විධායක කමිටුවේ කටයුතු කරනු ලබන සාමාජිකයින් වසර 25 ක පමණ කාලයක් තිස්සේ ක්‍රිකට් පරිපාලනේය නිරතව සිටින නමුත් ඉතිහාසයේ පළමු වතාවට මෙතරම් ලාභයක් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වූ බව සඳහන් කර සිටින සභාපතිවරයා එම මුදල නවසීලන්ත ක්‍රිකට් ආයතනය සතු මුදලටත් වඩා වැඩි මුදලක් බවද මෙහිදි අවදාරණය කර සිටියේය.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගන්නා අවස්ථාවේදී හිටපු නිලධාරීන් එය සූරා කෑඹකට ලක් කර රුපියල් බිලියන 4 ක අලාභයක් සිදුකර තිබූ බව සැවොම දන්නා කරුණක් බවත්, එවන් දරුණු තත්ත්වයක තිබුණු ආයතනයක් ඩොලර් මිලියන 35 ක සංචිතයක් ඇති ආයතනයක් බවට තමන්ගේ සභාපතිත්වය දරනු ලබන කාල සීමාවේදී හැකිවූ බවද ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

ගැටලුව වන්නේ තමන් විසින් සිදුකරන ලද එම කටයුතු කිසිවක් සමාජය වෙත යෑම සදහා කළ යුතු ‘මාර්කටිං’ නොකළ බවද සභාපතිවරයා සඳහන් කර සිටියේය.

“කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන්නේ ආණ්ඩුවේ සල්ලි කියලා. මේ සල්ලී ආණ්ඩුවේ නොවෙයි. මේ අයි.සී.සීි. එකෙන් සාමාජිකයින් වන අපට ලබා දෙන සල්ලි. මේක ඇත්තටම පෞද්ගලික ආයතනයක් වගේ. අපි කෝප් (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සබාව) එකට යන්නෙත් මේක විගණකාධිපතිවරයාගේවිගණනයට ලක් වන හින්දා. ඒ හින්දා ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක මහජනතාවගේ මුදල් කියලා” යැයි සභාපතිවරයා පවසයි.

“මේ සල්ලි අපේ සාමාජිකයින්ගේ” යනුවෙන්ද ක්‍රිකට් සභාපතිවරයා බොහෝ දෙනා එල්ල කරනු ලබන චෝදනාව වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.

ශම්මි සිල්වා මහතා තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීම වෙනුවෙන් ගෙවි ගිය ජුනි 17 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී 2022 වසර සදහා වන විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට එහි සාමාජිකයින් ඒකමතිකව සිය අනුමැතිය ලබා දීමට පියවර ගු ලැබීය. එහි සඳහන් ආකාරයට 2022 වසරේදී පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පූර්ණ ආදායම රුපියල් බිලියන 17.5 කි. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 1800 කට ආසන්න සංඛයාවකි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් බිලියන 6.3 ක මුදලක් ශුද්ධ අතිරික්තවයක් ලෙස සටහන් වන්නේ එය ඊට පෙර වසරේ ආදායමට වඩා 120% ක ආදායම් වැඩවිමක් ලෙසන සඳහන් වෙමිනි. එම මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීකට් ඉතිහාසයේ ලද විශාලතම වාර්ෂික ලාභය වන්නේය.

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව එහි ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද එම මාධ්‍ය හමුවට සහභාගිවිය.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee