slc
logo
Home   |    News
ජූලි 27, 2023
අලීගේ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයක

sinhala editor

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවත්, ඒ අතර කඩා වැදි නෝමන් අලී තේ පානයට පෙර ශ්‍රී ලංකා පිලේ තවත් කඩුලු 5 ක් බිද දැම්මේය. දිවා විවේකයට පෙරද කඩුල්ලක් දවා ගත් අලී ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 6 ම හිමිකරුවා බවට පත්වද්දී තේ පානය වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 143 ක් වශයෙන් සටහන්ව තිබිණ.

19 වැනි පන්දුවාරයේ සිටම පන්දු යැවීමට කැදවූ නෝමන් අලී පළමු පන්දුවෙන්ම නිශාන් මදුෂ්කව දවා ගනිමින් කඩුලු දඩයම ආරම්භ කළේය. ආරම්භයේ සිටම ‌ඉතා හොඳින් පන්දුව දඟ කැවූ වමත් දඟ පන්දු යවන්නා දකුණත් පිතිකරුවන්ට කඩුල්ල වටා යමින් ඉතාමත් නිවැරදි ස්ථානයන්හි පන්දුව පතිත කළේය. පන්දුව යවන අතරතුරදී ඒ ඒ පිතිකරුවන්ට අවශ්‍ය වන සේ පන්දුවේ වේගයද මැනවින් පාලනය කළ අලී කිසිසේත් අපේක්ෂා නොකළ ‘අලි’ අමාරුවකට ශ්‍රී ලංකාව ඇද දැම්මේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සාර්ථක සම්බන්ධතාවයක් එක් කිරීමට දිමුත් සහ මදුෂ්ක දෙදෙනා සමත් වුවත් ඉතිරි කඩුලු 6ම ලකුණු 74 කදී බිඳ දැමීමට අලී සමත්වූවේය. ඒ අනුව තේ පානය සඳහා තරගය නිමා කරන විට අලීගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 53 කට කඩුලු 6 ක් ලෙසිනි.

අලීගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් හය දෙනා අතරින් කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ සධීරගේ කඩුලු පූජා කළ කඩුලු යැයි කිවහොත් නිවැරදිය. ඒ මන්ද යත් එම දැවී යෑම් වලදී ඔවුන් එල්ල කරන පහරවල් එතරම්ම හොඳ පන්දු හමුවේ එල්ල නොකළ ඒවා වීමයි. ඇතැම් විට එම පහර එල්ල කිරීමට මෙම පිතිකරුවන් පෙළැඹුණේ ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් විසින් යොමු කරන ලද පීඩනයම නිසාය යන්න අනුමාන කළ හැක.

කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 38 ක් ලබා පිටියේ තනිව සටනක් දෙමින් තම අන්තය ආරක්ෂා කර ගනිද්දී රමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියි. තේ පානය සඳහා තරගය නිමා කරන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමට වඩා හෙවත් ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 267 ක් ලබා ගත යුතුව තිබේ.

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දින ආරම්භයේදී තවත් පන්දුවාර 2 ක් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම හැකි නම් ඉනිමක පරාජයෙන් බේරෙන ලෙස ලකුණු 410 ක අභියෝයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දුන්නේය. අභියෝගය කර පින්නාගෙන පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 25 දී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 81 ක් ලබා සිටියේය. දිවා විවේකය වන විට පළමු ඉනිමේ පරතරය ලකුණු 329 ක් දක්වා අවම මට්ටමකට පත් කර ගෙන සිටියේය.

අද දිනයේදී පාකිස්තානුවන් යළිත් පන්දුවට පහර දුන්නද තෙවැනි දින අවසන් වන විටත් ඔවුන් සතුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිණ. ඔවුන්ට අවශ්‍ය වූයේ තෙවැනි දින අවසනදී ලකුනු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් රිස්වාන්ට සිය අර්ධ ශතකය ලබා ගන්නා තෙක් පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දීම පමණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී පාකිස්තානු වේග පන්දු යවන්නන් හමුවේ මදුෂ්ක සහ දිමුත් පන්දුවට පහර දුන්නද නෝමන් අලී යවන ලද පළමු පන්දුවෙන්ම මදුෂ්ක ලකුණු 33 කට දැවී ගියේය. පා ඉන්න දෙසට යොමු කරන ලද පන්දුව එතරම් දඟ කැවෙනු ඇතැයි නොසිතූ මදුෂ්ක මැද ඉන්න ආසන්න ප්‍රදේශයට සිය පිත්ත ගෙන ආවද අනපේක්ෂිත දඟ කැවුණු පන්දුව පිත්ත පරයායමින් කඩුල්ලේ පිටත ඉන්න සොයා ගියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 134 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 576 යි – (අබ්දුල්ලා ශෆීක් 201, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, සෞද් ශකීල් 57, සෆ්‍රාස් අහමඩ් 14, අඝා සල්මාන් 132*, මොහොමඩ් රිස්වාන් 50*, අසිත ප්‍රනාන්දු 133/3, ප්‍රභාත් ජයසූරිය 194/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 53 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 143 යි – (ඇන්ජලෝ මැතිව්ස් 38*, දිමුත් කරුණාරත්න 41, කුසල් මෙන්ඩිස් 14, නිශාන් මදුෂ්ක 33, දිනේෂ් චන්දිමාල් 01, ධනංජය ද සිල්වා 10, සධීර සමරවික්‍රම 05, රමේෂ් මෙන්ඩිස් 00*,  නෝමන් අලී 53/6)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee