slc
logo
Home   |    News
ජූලි 18, 2023
එකම ස්ථානයක ක්‍රීඩා කිරීමට ලැබීම සාර්ථකත්වයට හේතුවයි –  ධනංජය ද සිල්වා

sinhala editor

ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම තම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ අංක 6 පිතිකරු ධනංජය ද සිල්වා පවසයි. කඩුලු කිහිපයක් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථාවක හෝ හොද සම්බන්ධතා ගොඩනැගී ලකුණු පුවරුව ඉහළ ගිය අවස්ථාවක තණතිල්ලට පැමිණ ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳ මනා වැටහීමක් ඇති වූයේ එකම ස්ථානයක පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබීමෙන් බව ධනංජය ද සිල්වා අවධාරණය කළේය. හෙතෙම මේ බව සඳහන් කළේ සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දින ( 17) තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

31 හැවිරිදි ධනංජය ද සිල්වා වසර 2016දී ටෙස්ට් වරම් දිනා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළේය. ඔස්ට්‍රේලියාවට එරෙහි එම තරගාවලියේ එස්එස්සී පිටියේ පැවැති තරගයේදී ධනංජය ලකුණු 129ක් ලබා ගැනීමට සමත් විය. ඔහු ඊයේ ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිමේදී ලකුණු 122ක් ලබා 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

“ මගේ ටෙස්ට් දිවිය හොද විදිහට ආරම්භ වුණා. එදා ඉදලා ටෙස්ට් කණ්ඩායමේ හැමදාම එකම ස්ථානයක පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුණා. ඒක විශේෂයෙන්ම කිව යුතුයි. මගේ යම් සාර්ථකත්වයක් ඇති වුණා නම් එකම ස්ථානයක පන්දුවට පහරදීමට ලැබීම ප්‍රධාන දෙයක්. කඩුලු බිද වැටුණ වෙලාවක කොහොමද? හොද සම්බන්ධතාවකින් පසුව පිටියට ගියාම කොහොමද? පන්දුවට පහර දෙන්නේ කියා අවබෝධයක් ගන්න එකම ස්ථානයක බැට් කරනකොට ලැබෙනවා. මනස හදාගෙන පහර දෙන්න පුලුවන් එහෙම වුණාම. මේ තත්ත්වය ඉදිරියේදී තිබුණොත් මට රට වෙනුවෙන් හොද දෙයක් කළ හැකියි“ ධනංජය පැවැසීය.

“ පාකිස්තානයට එරෙහි දැන් ගාල්ලේ පැවැත්වෙන තරගාවලියේදී කඩුලු 5ක් වැටිලා යම් පීඩනයක් එල්ල වෙලා තිබියදී ඇන්ජලෝ සමග කතා කරලා ඉනිම ගොඩ නගන්න හැකි වුණා. ඇන්ජලෝ ඉන්න කොට පන්දුවට පහර දෙන්න පහසුයි. ඔහුගේ අත්දැකීම් වැදගත්. අපි කතා වුණේ කිසිදු කලබලයක් නැතිව විකට් එක ටිකක් වේලෙන කල් හා පන්දුව ටිකක් පරණ වෙනකල් කඩුල්ලේ ඉදිමු කියලයි. පීඩනය වැඩි වෙලාවක ඇතැම් අයගේ සැලසුම ප්‍රහාර එල්ල කිරීමයි. නමුත් අපි වෙනස් විදිහකට ඉනිම ගොඩනැගුවා. කඩුල්ලේ ඉදලා ලකුණු ලබා ගත්තා. පාකිස්තාන පන්දු යවන්නන් සියලු දෙනා අපට තර්ජනයක් වුණා. නමුත් අපි එල්ලවන පීඩනය වෙනස් කර ගත්තා. බෝලය ටිකක් පරණ වෙනකල් ඉවසීමෙන් පන්දුවට පහරදීම ටෙස්ට් ක්‍රීඩාවට අවශ්‍යයි“

“ පාකිස්තාන පන්දු යැවීම හොදයි. අපි පීඩනය හොදින් දරා ගත්තා. පාකිස්තානයේ සියලු පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වා. අලුත් බෝලයෙන් වගේම පරණ වූ බෝලයෙන් හොදින් පන්දු යැවීම දක්ෂතාවක්. එල්ල වූ ලොකු අභියෝගයක් මැද ලකුණු 300 සීමාව පසු කළා. දැන් අපි කඩුලු ගන්නවා වගේම ලකුණු නොදී පන්දු යැවීම වැදගත්. අපි පාකිස්තානයේ කඩුලු 5ක් ගත්තාට ලකුණු වේගය ඔවුන් හොදින් රඳවා ගත්තා. ඒක අපට පාඩුවක්. ඉදිරියේදී ලකුණු නොදී පන්දු යැවීමට අපේ පන්දු යවන්නන් කටයුතු කරයි. තණතිල්ල වෙනදාට වඩා වෙනස්. මෙවර පන්දු යවන්නන්ට ටිකක් සහය ලැබෙනවා“ ධනංජය ද සිල්වා පැවැසීය.

“මා ශතක 10ක් ගැහුවත් තවම ආසා කරන්නේ පළමු ශතකයටයි. ඒ වෙන කිසිවක් නිසා නොවයි මගේ පළමු ටෙස්ට් ශතකය නිසයි“ ධනංජය සඳහන් කළේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee