slc
logo
Home   |    News
ජූලි 27, 2023
දෙවැනි ටෙස්ට් තරගයත් පාකිස්තානුවෝ ජය ලබති

sinhala editor

By Chamila Karawita

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 10 ම නෝමන් අලී සහ නසීම් ෂා විසින් දවා ගැනීමට සමත්වීම නිසා කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයත් දිනක් ඉතිරිව තිබියදීම ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම අද (27 දා) පස්වරුවේදී සමත්විය. පාකිස්තානුවෝ මෙම ජයග්‍රහණය ලබා ගත්තේද තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 ක් පමණක් යැවූ පසුබිමකදී වීම විශේෂත්වයක් වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගාවලීයේදී ලද 2-0 ක තරගාවලි ජයත් සමඟ එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද පාකිස්තානුවන් අද සමත්විය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් පළමු කඩුලු 7 ම තම නම ඉදිරියෙන් ලියා ගත් වමත් දඟ පන්දු යවන නෝමන් අලී, ශ්‍රී ලංකා කණ්ඩායමක් එදා මෙදා තුර ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ලද දරුණුම ටෙස්ට් තරග පරාජයට මං පෙත් විවර කළේය.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් තම මව්බිමේදී ලද විශාලතම ටෙස්ට් තරග පරාජය ලෙසින් සටහන් වූයේ මීට වසර 30 කට පෙර හෙවත් 1993 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීම ලද ඉනිමක සහ ලකුණු 208 ක තරග පරාජය විය.

සිය 15 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නෝමන් අද දිනයේදී සිය හොදම පන්දු යැවීම සටහන් කරගත්තේ ලකුණු 70 කට කඩුලු 7 ක් ලෙසිනි. 19 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට පැමිණි වමත් දඟ පන්දු යවන්නා දකුණත් පිතිකරුවන්ට කඩුල්ල වටා යමින් ඉතාමත් නිවැරදි ස්ථානයන්හි පන්දුව පතිත කළේය. පන්දුව යවන අතරතුරදී ඒ ඒ පිතිකරුවන්ට අවශ්‍ය වන සේ පන්දුවේ වේගයද මැනවින් පාලනය කළ අලී කිසිසේත් අපේක්ෂා නොකළ ‘අලි’ අමාරුවකට ශ්‍රී ලංකාව ඇද දැම්මේය. තරගය නිමා වනවිට ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 23 ක් යවා ඉන් 8 ක්ම නිලකුණු පන්දුවාර ලෙසිනි.

යවන ලද පළමු පන්දුවෙන්ම නිශාන් මදුෂ්කගේ කඩුල්ල දවා ගත් නෝමන් අලී, සිය කඩුලු දඩයම නතර කරන ලද්දේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 7 ම දවා ගැනීමෙන් පසුවිය. පිතිකරණ අනුපිළිවෙ‌ළේ පළමු පිතිකරුවා වන මදුෂ්කගේ සිට අංක 8 පිතිකරුවා වූ රමේෂ් මෙන්ඩිස් දක්වා වූ කඩුලු 7 ම අලී දවා ගනිද්දී අවසන් කඩුලු 3 නසීම් ෂා විසින් දවා ගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 67.4 කදී ලකුණු 188 කට සීමා විය.

ඉනිමේ හොදම සම්බන්ධතාව වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න (41) සහ නිශාන් මදුෂ්ක (33) එක්ව රැස් කරන ලද ලකුණු 69 ක සම්බන්ධතාව වන අතර ඊට පසු වැඩිම සම්බන්ධතාව ලෙසින් සටහන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 36 විය.

එම සම්බන්ධතාව පැවැත්වෙන අතරතුරදී නසීම් ෂා විසින් ක්‍රියාත්මක කරන ලද 62 වැනි පන්දුවාරයේදී රමේෂ් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ යැයි කරන ලද ඉල්ලීම් 2 ම විනිසුරු රවීන්ද්‍ර විමලසිරි විසින් අනුමත කරන ලදී. එහෙත් එම අවස්ථා ද්විත්වයම තෙවැනි විනිසුරුට යොමු කිරීමේදී ඉන් බේරීමට තරම් රමේෂ් මෙන්ඩිස් වාසනාවන්ත වූවේය. එහෙත් සීමා ඉරෙන් ඉදිරියට විත් පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේදී අලීගේ හත් වැනි දඩයම විසින් මෙන්ඩිස් පිටියෙන් ඉවත් විය.

රමේෂ් පිටියෙන් ඉවත් වන විට අනෙක් අන්තයේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48 ක් ලබා අර්ධ ශතකය පේන මානයේ සිටියේය. අවස්ථාව ලද විගස මැතිව්ස් තම අර්ධ ශතකය ද වාර්තා කර ගනිමින් අවසන් පිතිකරුවන් තිදෙනා සමඟ තරගය පස්වැනි දිනට හෝ රැගන යෑමේ අදිටනින් මැතිව්ස් පන්දුවට පහර දුන් නමුත් ඊට අවස්ථාව ලබා නොදුන් නසීම් ෂා ‌අවසන් පිතිකරුවන් තිදෙනා වූ ප්‍රභාත් ජයසූරිය (00), අසිත ප්‍රනාන්දු (00) සහ ඩිල්ෂාන් මදුශංක (00) තිදෙනාම පන්දු 6 ක් ඇතුළතදී දවා ගනිමින් පස්වැනි දවස සිය සගයන් වෙනුවෙන් විවේක දවසක් ලෙස වෙන් කර දුන්නේය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවත්, ඒ අතර කඩා වැදි නෝමන් අලී තේ පානයට පෙර ශ්‍රී ලංකා පිලේ තවත් කඩුලු 5 ක් බිද දැම්මේය. දිවා විවේකයට පෙරද කඩුල්ලක් දවා ගත් අලී ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 6 ම හිමිකරුවා බවට පත්වද්දී තේ පානය වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 143 ක් වශයෙන් සටහන්ව තිබිණ.

අලීගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් හය දෙනා අතරින් කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ සධීරගේ කඩුලු පූජා කළ කඩුලු යැයි කිවහොත් නිවැරදිය. ඒ මන්ද යත් එම දැවී යෑම් වලදී ඔවුන් එල්ල කරන පහරවල් එතරම්ම හොඳ පන්දු හමුවේ එල්ල නොකළ ඒවා වීමයි. ඇතැම් විට එම පහර එල්ල කිරීමට මෙම පිතිකරුවන් පෙළැඹුණේ ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් විසින් යොමු කරන ලද පීඩනයම නිසාය යන්න අනුමාන කළ හැක.

සිව්වැනි දින ආරම්භයේදී තවත් පන්දුවාර 2 ක් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම හැකි නම් ඉනිමක පරාජයෙන් බේරෙන ලෙස ලකුණු 410 ක අභියෝයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දුන්නේය. අභියෝගය කර පින්නාගෙන පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 25 දී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 81 ක් ලබා සිටියේය. දිවා විවේකය වන විට පළමු ඉනිමේ පරතරය ලකුණු 329 ක් දක්වා අවම මට්ටමකට පත් කර ගෙන සිටියේය.

අද දිනයේදී පාකිස්තානුවන් යළිත් පන්දුවට පහර දුන්නද තෙවැනි දින අවසන් වන විටත් ඔවුන් සතුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිණ. ඔවුන්ට අවශ්‍ය වූයේ තෙවැනි දින අවසනදී ලකුනු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් රිස්වාන්ට සිය අර්ධ ශතකය ලබා ගන්නා තෙක් පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දීම පමණි.

තරගයේ වීරයා – අබ්දුල්ලා ශෆීක්

තරගාවලියේ වීරයා – අඝා සල්මාන්

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 134 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 576 යි – (අබ්දුල්ලා ශෆීක් 201, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, සෞද් ශකීල් 57, සෆ්‍රාස් අහමඩ් 14, අඝා සල්මාන් 132*, මොහොමඩ් රිස්වාන් 50*, අසිත ප්‍රනාන්දු 133/3, ප්‍රභාත් ජයසූරිය 194/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 53 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 143 යි – (ඇන්ජලෝ මැතිව්ස් 38*, දිමුත් කරුණාරත්න 41, කුසල් මෙන්ඩිස් 14, නිශාන් මදුෂ්ක 33, දිනේෂ් චන්දිමාල් 01, ධනංජය ද සිල්වා 10, සධීර සමරවික්‍රම 05, රමේෂ් මෙන්ඩිස් 00*,  නෝමන් අලී 53/6)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee