slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2023
කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පන්දු යවන්නත් සූදානම් – මැතිව්ස්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආදේශක ක්‍රීඩකයකු ලෙස තමාව පැවැරී තිබෙන රාජකාරි වන්නේ මැද පෙළ ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම බව පවසන ඇන්ජලෝ මැතිව්ස්, එහෙත් තමන්උගේ සේවය උවමනා වන්නේ කුමන ආකාරයටද, තමා එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන පස්වැනි තරගය හෙට බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (26 වැනිදා) පැවැත්වෙන අතර එම තරගයට පෙර කණ්ඩායමේ සූදානම පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී හිටපු නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මැතිව්ස්, වැඩිදුරටත් මෙසේද සදහන් කර සිටියේය. “ගොඩක් වෙලාවට අපේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ ස්ථාවර භාවයක් තියෙනවා. ඒ අනුව කොයි ස්ථානයේදී මම පිතිකරණයේ යෙදෙන්න ඕන, නායකයා වගේම පුහුණුකරුට කොතැනද මම ක්‍රීඩා කරන්න ඕන, එතැන මම ක්‍රීඩා කරන්න ලෑස්තියි“ යැයි සඳහන් කර සිටින මැතිව්ස්, “මම හිතන්නේ මට පැවැරිලා තියෙන රාජකාරිය වන්නේ මැද පෙළ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වීමටයි. එහෙත් කණ්ඩායමට මාව උවමනා කොතැනටද මම ඒ සඳහා සූදානම්. මම කවදාවත් මගේ පෞද්ගලික දක්ෂතා හෝ වාර්තා ගැන හිතලා නෑ. කණ්ඩායමේ ජයග්‍රහණය කරන්න උවමනා ඕනෑම කාර්යයකට අත දෙන්න මම සූදානම්“ යනුවෙනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අවසන් 15 දෙනා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමාට යළි ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි කිසි විටෙකත් අපේක්ෂා නොකළ බවද මැතිව්ස් මෙහිදී සඳහන් කර සිටියේය. එහෙත් ඕනෑම අවස්ථාවක කණ්ඩායමට තමාගේ සේවය අවශ්‍ය විටෙක ලබා දීම සඳහා හොඳ පෙර සූදානමකින් සිටි බවද මැතිව්ස් සදහන් කර සිටියේය.

“අනිත් ක්‍රීඩකයින් වගේම පසුගිය කාලය පුරාවටම මම ඉතාම කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වුණා. බැරි වෙලා හරි මට අවස්ථාවක් ලැබුනොත් මම ලෑස්තිවෙලා සිටිය යුතුයි. අවසන් 15 දෙනා තෝරා අවසන් වුණාට පස්සේ  මේ වගේ අවස්ථාවක් මට ලැබෙයි කියලා මම ඇත්තෙන්ම බලාපොරොත්තු වුණේ නෑ. එහෙත් එය මේ විදිහට සිද්ධ වුණා“ යැයිද මැතිව්ස් සදහන් කර සිටියේය.

“අවසන් කණ්ඩායම් 4 අතරට යන්න නම් අපිට ඉදිරියේ තිබෙන තරග සියල්ලම ජය ගන්න සිද්ධ වෙනවා. එය තමයි අපගේ ඉලක්කය. අපිට තවම බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට කියන්න බෑ ශ්‍රී ලංකා කණ්ඩායම නරකයි කියලා. මොකද අපි අතින් අතපසුවීම් සිදුවුනා. එම අතපසුවීම් වලින් ප්‍රථම තරග තුනේදී ප්‍රතිවාදීන් උපරිමය ලබාගත්තා. එහෙත් අවසන් තරගය ඉතාම හොඳින් ක්‍රීඩා කළා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශ්වාසය ඇති කළා. ඒ නිසා හෙට දිනයේදී ඒ විශ්වාසය තුළින් එංගලන්ත කණ්ඩඩායම පරාජයට පත් කිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා“ යැයි මැතිව්ස් සඳහන් කර සිටියි.

මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි මුල් යුගයේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කළද කලක් යන විට පාදයේ නිරන්තරයෙන් ඇතිවුණු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පන්දු යැවීමෙන් වැළකී සිටියේය. පිතිකරණනය පිළිබඳ පමණක් අවධානය යොමු කළ මැතිව්ස් මීට වසර 3 කට පමණ ඉහත සිට නැවතත් සිය පන්දු යැවීම ආරම්භ කළේ කණ්ඩායමට තමාගෙන් සිදුවිය යුතු වගකීම ඉටු කිරීමෙහි පරම වගකීම තමන් සතුව තිබෙන බැවිනි. ඒ අනුව තමා මෙවර තරගාවලියේදීද පන්දු යැවීමේ සූදානමකින් පසුවන බවද හිටපු ටෙස්ට් නායකයා අදහස් දක්වා සිටියේය.

“ඔව් නායකයාට මට පන්දුව දෙනාවනම් අනිවාර්යයෙන්ම මම පන්දු යවනවා. මම පන්දු යැවීමටත් සූදානම් වුනා. මම පන්දු යැව්වොත් කණ්ඩායම තේරීමේදී එය නායකයාට වාසියක් වෙනවා. මට ලබාදිය හැකි උපරිමය කණ්ඩායමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් පන්දු යැවීමේ සූදානම පිළිබඳව මැතිව්ස් සදහන් කළේය.

හෙට දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන එංගලන්තයට එරෙහි අභියෝගය පිළිබඳවද මැතිව්ස් අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.  “ඔව් මම හිතන්නේ මෙය වෙනස්ම තත්ත්වයක් යටතේ ක්‍රීඩා කරන්නේ. වෙනස්ම කණ්ඩායමක් සමග. විශේෂයෙන්ම ක්‍රිස් (සිල්වර්වුඩ්) දන්නවා එංලන්ත කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයින් පිළිබඳව. අපි සාකච්ඡා කළා. ප්‍රබල එංගලන්ත කන්ඩායම පරාජයට පත් කරන්න අපිට ඉතාම හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා. අපි දන්නවා ඔවුන් ඉතාම භෙයානක කණ්ඩායමක් බව. හෙට තරගය පැවැත්වෙන තණතීරුවත් හොඳින් ලකුණු තියෙන එකක්. අපිට කරට කරට තරගයක් දෙන්න සිදුවෙනවා. අපි සූදානම් ඒ අභියෝගයට“ යැයි මැතිව්ස් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee