By Chamila Karawita
මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය, නියමිත ඉලක්කයට පන්දු යැවීමට නොහැකිවීම මෙන්ම දුර්වල පන්දු රැකීමආදී යන තුන් ඉරියව්වේම අසාර්ථක භාවය හමුවේ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා වාර්තා කරන ලද ශතකවලට නිසි වටිනාමක් නොලැබිණ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලකුණු 345 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල කඩුලු 6 ක ජයක් ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ජයග්‍රහණයක් අද (10 වැනිදා) රාත්‍රියේ අත්කර ගන්නා ලද්දේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි පරාජයත් අත්කර දෙමිනි.
හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ලකුණු 345 ක වාර්තා ගත ඉලකක්යක් හඹා ගිය මොහොමඩ් රිස්වාන් ප්රමුඛ පාකිස්තානු පිතිකරුවෝ පන්දු 10 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. මෙය වසර 48 ක ලෝක කුසලාන ඉතිහාසයේදී කණ්ඩායමක් හඹා යමින් ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටත පත්වීය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම විශිෂ්ඨ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක් වුවද, ඉහතින් සඳහන් කළ දුර්වලතාවයන් හේතුවෙන් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පිට පිටම ලද දෙවැනි පරාජය මෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේදී පාකිස්තානය හමුවේ ලද 8 වැනි තරග පරාජය වළකාලීමට නොහැකි විය.
පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී මුහුණ දුන් ආබාධයක් නිසා භෞත චිකිත්සකවරයාව අවස්ථා දෙකකදී ක්‍රීඩාංගණයට ගෙන්වා ගත් මොහොමඩ් රිස්වාන්, තමා පිටියන් ගියහොත් අත්වන ඉරණම ගැන දෙවරක් නොසිතාම ආබාධය නොසලකාලමින් තරගය හමාර වන තෙක්ම පන්දුවට පහර දුන්නේය. පන්දුවාර 15 කට වැඩි කාලයක් එම වේදනාව උහුලගනිමින් පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා තරගය හමාර වන විටත් පන්දු 121 කදී ලකුණු 131 ක් ලබා සිටියේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් තම ඉනිමට ඇතුළත් කර දමමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී එකම පන්දුවාරයේදී උඩ පන්දු 3 ක් අත හැර දැමීමද තරගය වාසිය ප්‍රතිවාදීන් අතට දෝලනය වුණු අවස්ථාවක් ලෙසින් සඳහන් කළ හැක.
ඉමාම් උල්හක් සහ බාබර් අසාම් දෙදෙනාම ලකුණු 27 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත් කිරීමට ඩිල්ෂාන් මදුශංක සමත්වීමත් සමඟ අබ්දුල්ලා ශෆීක්ට එක් වුණු මොහොමඩ් රිස්වාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 176 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම එක් කළහ. මෙහිදී රිස්වාන්ට අනගි සහායක් ලබා දුන් අබ්දුල්ලා ශෆීක් පන්දු 103 කදී ලකුණු 113 ක් රැස් කරන ලද්දේ පාකිස්තානය වෙනුවෙන් මංගල ලෝක කුසලාන තරගයකදී පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද සියතට ගනිමිනි.
ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරලීමේ අරමුණින් අද තරගය සදහා මහීෂ් තීක්ෂණ සමගින් අවතීර්ණ වුවද ප්‍රතිවාදී ඉනිමේ මැද හරියේදී කඩුලු ලබා ගනිමින් ලබාදිය යුතු අභියෝගය ලබා දීමට දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා පිලට නොහැකි විය. කඩුලු ලබා ගැනීම තබා පාකිස්තානු පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය හෝ පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම කණගාටුදායක තත්ත්වයක විය. ඒ අතරින් අද තරගයේදීත් වැඩිම ලකුණු ලබා දුන් පන්දු යවන්නා බව මතීෂ පතිරණ පත්විය. ඔහු යවන ලද පන්දුවාර 9 දී ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 90 ක් ලබා ගත්තේ එක් කඩුල්ලක් පමණක් ඔහු හමුවේ ලබා දෙමිනි. මෙය මතීෂට පිිට පිට තරග දෙකකදී ලකුණු 90 කට වඩා රැස් කරන ලද දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහ් විය.මීට පෙර ඉකුත්දා දකුණු අප්‍රිකාව හමුවේ පැවැති තරගයේදීද මතීෂගේ පන්දු හමුවේ ලකුණු 95 ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත්වූහ.
කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත ශතකයට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් රැස් කිරීමට පෙරමුණු කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ට ලකුණු 344 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය අද තරගයේදී නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී පහසුවෙන්ම ලකුණු 375 සීමාව පසුකිරීමට අවකාශ තිබිණ.
මුහුණ දුන් 65 වැනි පන්දුවේදී ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් වාර්තා කරන ලද වේගවත්ම ශතක වාර්තාවට හිමිකම් කී කුසල් මෙන්ඩිස්ගෙන් පසු තරගය රැගෙන යෑමේ වගකීම භාර ගත් සධීර සමරවික්‍රම අද දිනයේදී සිය කුළුඳුල් එක්දින ශතකයට හිමිකම් කීවේය. පන්දු 89 කදී ලකුණු 108 ක් ලෙසින් වාර්තා වුණු සධීරගේ ඉනිම සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කළේය. පන්දු යවන්නන්ට රිසිසේ පන්දුවට පහර එල්ල කළ දකුණත් පිතිකරුවා කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 111 ක සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.
ආරම්භක පිතිකරුවා වූ කුසල් පෙරේරා පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු නොලබා දැවී යද්දී අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල්ට එක් වුණු පැතුම් නිස්සංක පන්දු 61 කදී ලකුණු 51 ක් ලබා ශ්‍රී ලංකා පිලේ අපහසුතාවය මඳකට දුරලීමට දායකත්වය දැක්වූවේය. අද දියේදී මොවුන් තිදෙනා එක්ව රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවත් ප්‍රතිවාදී පිලෙන් ලබා දුන් අතිරේක ලකුණු 14 ත් හැරුණු විට පන්දුවට පහර දීමට පැමිණි සෙසු පිතිකරුවන් 7 දෙනාම රැස් කිරීමට සමත්වූයේ ලකුණු 39 ක් පමණි. ඒ සඳහා ඔවුහු පන්දු 71 ක් වැය කර තිබුණහ.
ශ්‍රී ලංකා පිලට වැඩිම තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා බවට පත් වුණු හසන් අලීගේ පන්දුවක් හයේ සීමාවට යැවූ කුසල් මෙන්ඩිස් ශතකය සම්පූර්ණ කරන ලද්දේ ලෝක කුසලාන තරගයකදී කුමාර් සංගක්කාරව සතුව තිබූ වේගවත්ම ශතකයේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි. සංගක්කාර ඒ සඳහා පන්දු 70 ක් වැය කර තිබෙද්දී කුසල් මුහුණ දුන් 65 වැනි පන්දුවේදී එම දක්ෂතාව දැක්වූවේය ඒ සමඟම පන්දු 71 ක් තම ඉනිම සඳහා වැය කළ දකුණතු අංක 3 පිතිකරුවා ලබා ගත් ලකුණු 122 සදහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 16 ක් එල්ල කළේ විස්තර විචාරකයින්ගේ නොමද ගරුසරු මධ්යෙයේදීය.
අද මෙන්ඩිස් වාර්තා කරන ලද්දේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකයයි මීට පෙර පාකිස්තානු පිලට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රොෂාන් මහානාම විසින් වාර්තා කරන ලද ලකුණු 89 ක ඉනිම විය.
එමෙන්ම එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම ශතක අතර 6 වැන්න ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර ඒඩ්න් මාක්රම් (49), කෙවින් ඕබ්‍රියන් (50), ග්ලෙන් මැක්ස්වෙල් (51), ඒ.බී.ඩිවිලියර්ස් (52) සහ එයන් මෝගන් (57) පමණක් මෙන්ඩිස්ට ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති.
ලකුණු පුවරුව | |||||||
ශ්‍රී ලංකාව | ලකුණු | පන්දු | 4 | 6 | |||
පැතුම් නිස්සංක | ඇ.අබ්දුල්ලා ශෆීක් | ප.ශදාබ් ඛාන් | 51 | 61 | 7 | 1 | |
කුසල් පෙරේරා | ඇ.මොහොමඩ් රිසාවාන් | ප.හසන් අලී | 0 | 4 | 0 | 0 | |
කුසල් මෙන්ඩිස් | ඇ.ඉමාම් උල්හක් | ප.හසන් අලී | 122 | 77 | 14 | 6 | |
සධීර සමරවික්‍රම | ඇ.මොහොමඩ් රිස්වාන් | ප.හසන් අලී | 108 | 89 | 11 | 2 | |
චරිත් අසලංක | ඇ.මොහොමඩ් රිස්වාන් | ප.හසන් අලී | 1 | 3 | 0 | 0 | |
ධනංජය ද සිල්වා | ඇ.ශහීන් අෆ්රිඩි | ප.මොහොමඩ් රිස්වාන් | 25 | 34 | 3 | 0 | |
දසුන් ශානක | ඇ.බාබර් අසාම් | ප.ශහීන් අෆ්රිඩි | 12 | 18 | 0 | 0 | |
දුනිත් වෙල්ලාලගේ | ඇ.අබ්දුල්ලා ශෆීක් | ප.හැරිස් රාවුෆ් | 10 | 8 | 1 | 0 | |
මහීෂ් තීක්ෂණ | ප.හැරිස් රාවුෆ් | 0 | 4 | 0 | 0 | ||
මතීෂ පතිරණ | නොදැවී | 1 | 3 | 0 | 0 | ||
අතිරේක | 14 | ||||||
එකතුව පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු | 344 | ||||||
කඩුලු වැටීම / 1-05 (කුසල් පෙරේරා 1.4), 2-107 (පැතුම් 17.2), 3-218 (කුසල් මේඩිස් 28.5), 4-229 (අසලංක 30.1), 5-294 (ධනංජය 41.1), 6-324 (දසුන් 46.3), 7-335 (සධීර 47.6), 8-343 (මහීෂ් 49.2), 9-344 (වෙල්ලාලගේ 49.6) | |||||||
පන්දු යැවීම | |||||||
ශහීන් අෆ්රිඩි 9-0-66-1 | හසන් අලී 10-0-71-4 | ||||||
මොහොමඩ් නවාස් 9-0-62-1 | හාැරිස් රාවුෆ් 10-0-64-2 | ||||||
ශදාබ් ඛාන් 8-0-55-0 | ඉෆ්තිකාර් අහමඩ් 4-0-22-0 | ||||||
පාකිස්තානය | |||||||
අබ්දුල්ලා ශෆීක් | ඇ.අතිරෙක (දුශාන් හේමන්ත | ප.මතීෂ පතිරණ | 113 | 103 | 10 | 3 | |
ඉමාම් උල් හක් | ඇ.කුසල් පෙරේරා | ප.ඩිල්ෂාන් මදුශංක | 12 | 12 | 1 | 0 | |
බාබර් අසාම් | ඇ.සධීර සමරවික්‍රම | ප.ඩිල්ෂාන් මදුහංක | 10 | 15 | 1 | 0 | |
මොහොමඩ් රිස්වාන් | නොදැවී | 131 | 121 | 8 | 3 | ||
සෞද් ශකීල් | ඇ.දුනිත් වෙල්ලාලගේ | ප.මහීෂ් තීක්ෂණ | 31 | 39 | 2 | 0 | |
ඉෆ්තිකාර් අහමඩ් | නොදැවී | 22 | 10 | 4 | 0 | ||
අතිරේක | 26 | ||||||
එකතුව පන්දුවාර 48.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු | 345 | ||||||
කඩුලු වැටීම / 1-16 (ඉමාම් 3.3), 2-37 (බාබර් 7.2), 3-213 (ශෆීක් 33.1), 4-308 (ශඛීල් 44.3) | |||||||
පන්දු යැවීම | |||||||
මහීෂ් තීක්ෂණ 10-0-59-1 | ඩිල්ෂාන් මදුශංක 9.2-0-60-2 | ||||||
දසුන් ශානක 5-0-28-0 | මතීෂ පතිරණ 9-0-90-1 | ||||||
දුනිත් වෙල්ලාලගේ 10-0-62-0 | ධනංජය ද සිල්වා 4-0-36-0 | ||||||
චරිත් අසලංක 1-0-01 | |||||||