මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් රැසක් අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බබලවන බවට අනාවැකි පහළ කළහ. ඊයේ නිමාව දුටු මේ තරගාවලියේදී කොළඹ හා කොළඹින් පිට පළාත්වල යොවුන් ක්‍රීඩකයින් කැපී පෙණෙන දක්ෂතා දැක්වීම ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ පෙරනිමිති පහළ කිරීමක් මෙන්ම අනාගත ආයෝජනයකි.
විශේෂයෙන්ම පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ කොළඹ ක්‍රීඩකයින් සමඟ කරට කර දක්ෂතා දක්වමින් කොළඹින් පිට පළාත් ක්‍රීඩකයින් සිටීම රටපුරා තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක් බිහිවෙමින් පවතින බවට හොදම උදාහරණයකි.
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් මුල් පිතිකරුවන් හයදෙනා සැලකිල්ලට ගැනීමේදී එයින් තිදෙනෙකු කොළඹින් හා අනෙක් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් බිහිවීම කැපී පෙණේ.
මෙවර තරගාවලියේ හොදම පිතිකරුට හිමි සම්මානය සමඟ රුපියල් 50000ක මුදල් ත්‍යාගය දිනාගත් ගාල්ල පිලේ යසිරු ලක්ෂාන් තරගාවලිය පුරා තරග 4කදී ලකුණු 154ක් වාර්තා කරමින් කාගේත් අවධානය දිනා ගත්තේය. ඔහු තරග 4කදී ලකුණු සාමාන්‍ය 51. 33ක සාමාන්‍යයක් රඳවාගෙන පන්දුවට පහරදුන් ආකාරය යොවුන් ක්‍රීඩකයෙකුගේ ප්‍රසංසා කළයුතු දක්ෂතාවකි. යසිරු ලක්ෂාන් ලකුණු 154 වාර්තා කිරීමට පන්දු 174කට මුහුණදුන් අතර, හයේ පහර 5ක් හා හතරේ පහර 19ක් එල්ල කොට වැඩිම ලකුණු නොදැවී 58ක් සටහන් කළේය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සමඟ රුපියල් 50000ක මුදල් ත්‍යාගය දිනාගත් කොළඹ දකුණ පිලේ රෙහාන් පීරිස් අවසන් තරගයේදී ලකුණු 129ක් ලබාගත් අතර, සමස්ත තරගාවලියේ තරග 5කදී ශතක 2ක් සමග ලකුණු 356ක් ලබා ගත්තේය. කොළඹ දකුණ පිලේ හිරුන් මතීෂ හා සත්සර නිලන්ජිත් තරග 5කදී ලකුණු 105 බැගින් ලබාගත් අතර, ගාල්ලේ අරෝෂ් සිතුමිණ ලකුණු 82ක් හා මහනුවර දිනුල් විජේසිංහ ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වූහ.
මෙවර තරගාවලියේ මුලින් සිටින හොදම පන්දු යවන්නන් හයදෙනාගේ දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී කොළඹින් තිදෙනකු හා පිට පළාත්වලින් තිදෙනෙකු සිටීම තවත් විශේෂත්වයකි. හොදම පන්දු යවන්නාට හිමි සම්මානය සමඟ රුපියල් 50000ක මුදල් ත්‍යාගය දිනාගත් කොළඹ උතුරු පිලේ හිමස්රූ දේශාන් කඩුලු 15ක් දවාගෙන දක්ෂතා දැක්වූ අතර, කොළඹ උතුර පිලේ ළහිරු ලක්මාල් කඩුලු 11ක් හා කොළඹ දකුණ පිලේ රුසඳු සිල්වා කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූහ. එයට අමතරව ගාල්ල පිලේ කවීක මධුසංඛ හා ප්‍රවීන් මධුසංඛ කඩුලු 7 බැගින් හා දඹුල්ල පිලේ පුදසර අයෝධ්‍යා කඩුලු 7ක් දවා පිට පළාතිවල ක්‍රීඩකයින් අතර ඉදිරියෙන් සිටියහ.
ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ උතුර පිල ලකුණු 86කින් පරාජයට පත්කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. ශූරතාව දිනාගත් කොළඹ දකුණ පිලට රුපියල් ලක්ෂ 4ක් හා අනුශූර කොළඹ උතුර පිලට රුපියල් ලක්ෂ 3ක මුදල් තෑගි පිරිනැමුණි.