slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2023
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක පරාජයක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවරදී අද (11 දා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. එම පරාජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබූ අවසන් බලාපොරොත්තුවද සුන් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 280 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41.1 කදී කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. ශ්‍රී ලංකාවට එරෙහිව ලද මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. මෙම තරග පරාජයේ අඳුරු පැතිකඩ බවට පත්ව තිබෙන්නේ එළැඹෙන 2024 වසරේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන හෙවත් චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවධානම් සහගත තත්ත්වයකට පත්වීම.

ලකුණ් 07 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස් විසින් යවන ද පන්දුවකට ලබා දුන් උඩපන්දුව චරිත් අසලංක අතින් ගිලිහී නොයන්නට ශකීබ් අල් හසන්ගේ ලකුණු 82 ක් දක්වා දීර්ඝ වුණු ඉනිම ලකුණු 07 දී නිමාවට පත්වීමට ඉඩ තිබිණ. එම තල්ලුවෙන් ලද පන්නරයත් සමග තෙවැනි කඩුල්ලට නජ්මුල් හොසේන් සමග එක්වූ අල් හසන් පන්දු 149 කදී ලකුණු 169 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට මූලික අඩිතාලම එක් කළහ.

අසලංක විසින් එම උඩ පන්දුව අතහැර දැමීමේ අනිසි ආනිසංසය වූයේ අල්හසන්ට සිය 56 වැනි එක්දින අර්ධ ශතකය සපුරා ගැනීමට අවස්ථාව උදාවීමයි. පන්දු 101 කට මුහුණ දී සිටි අල්හසන් තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් අලංකාර කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් වේග  පන්දු යවන්නා වන ඩිල්ෂාන් මදුශංක අද දිනයෙදීත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාව ක්‍රීඩා ගාරය වෙත යවන විට මුලු ලකුණු සංඛ්‍යාව 41 ක් ලෙස සටහන්ව තිබිණ. එම කඩුලු 2 දවා ගැනීමත් සමඟ යළිත් පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ලාභියාගේ ලැයිස්තුවේ ඉහළටම පැමිණිමට මදුශංක සමත්වූවේය. මේ වන විටත් ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 21 කි.

පිට පිට පන්දුවාර 2 කදී ශකීබ් අල් හසන් සහ නජ්මුල් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුවද ඒ වන විට ප්‍රතිවාදීන්ට රැස්කර ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 69 ක් පමණි.

දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියේය. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංකගේ වටිනා ලකුණු 108 ක අගනා ශතකයද සමඟ ලකුණු 279 ක් ලබා ගැනීමට සමත්වූවේය. පන්දුවාර 49.3 කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වද්දී ඉනිමේ කොඳුනාරටිය වුණු අසලංක පන්දු 105 කදී ලකුණු 108 ක් ලබා ගත්තේය. මෙය ඔහුගේ එක්දින තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සටහන් වූයේ ඊට හයේ පහර 5 ක් සහ හතෙර් පහර 6 ක්ද ඇතුළත් කරමිනි.

නියමිත කාලය ඇතුළත පන්දුවට පහර දීිමට නොපැමිණීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දැවී යන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 135 ක් ලෙසින් අසීරු තත්ත්වයකට පත්විය. සධීර සමරවික්‍රම දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි මැතිව්ස් තම හිස්වැස්ම මාරු කිරීම සඳහා තරමක කාලයක් ගත් අතර ඒ අතරවාරයේදී මැතිව්ස් ප්‍රමාද බව පෙන්වා දෙමින් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ඉල්ලීමක් කළේය. ඒ පිළිබඳව විමසා බලා විනිසුරුවරයාද එය දැවී යෑමක් ලෙස අනුමත කළ බැවින් එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ ‘ටයිම් අවුට්‘ නීතියට අනුව දැවී ගිය පළමු පිතිකරුවා ලෙසින් ඉතිහාසයට එක් වූවේය.

මෙම අවාසනාවන්ත දැවී යෑමෙන් මැතිව්ස් පිටියෙන් ඉවත්ව යද්දී 6 වැනි කඩුල්ලට එක් වූ චරිත් අසංලක සහ ධනංජය ද සිල්වා (34) පන්දු 82 කදී ලකුණු 78 ක් එක් කරමින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළහ. කෙසේ වෙතත් සීමා ඉරෙන් ඉදිරියට විත් පහරක් එල්ල කිරීමට යෑමේදී ධනංජයද සිල්වා දැවී ගියේය.

සිය සගයා දැවී ගියද සටන අත්නොහළ අසසලංක අටවැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ සමග එක්ව පන්දු 48 කදී ලකුණු 45 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පසු පෙළ ශක්තිමත් කළා පමණක් නොව ලකුණු 250 සීමාවට ඔබ්බෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව රැගෙන ගියහ. මෙහිදී තීක්ෂණ පන්දු 31 කදී ලකුණු 22 ක් ලබා ගත්තේය.

අද තරගය සඳහා දිමුත් කරුණාරත්න වෙනුවට යළිත් කුසල් පෙරේරා කැදවා තිබු නමුත් ඔහුට රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 04 ක් පමනි. නායක කුසල් මෙන්ඩිස් සමග දෙවැනි කඩුල්ලට එක්වුණු පැතුම් නිස්සංක පන්දු 63 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් පැවැත්වුවද මොවුන් දෙදෙනාම ලකුණු 06 ක් ඇතුළ දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුතාවකට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් සධිර සමරවික්‍රම ලකුණු 41 ක් ලබා ගනිමින් අසලංක සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 63 ක් රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට සැනසිලි දායක තත්ත්වයකට පැමිණීමට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකාව පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 279 යි – (පැතුම් නිස්සංක 41, කුසල් පෙරේරා 04, කුසල් මෙන්ඩිස් 19, සධීර සමරවික්‍රම 41, චරිත් අසලංක 108, ඇන්ජලෝ මැතිව්ස් 00, ධනංජය ද සිල්වා 34, දුෂ්මන්ත චමීර 04, කසුන් රජිත 00, ඩිල්ෂාන් මදුශංක 00*, ෂොරිෆුල් ඉ්ලාම් 52/2, ටැනිසිම් හසන් 80/3, සකීබ් අල් හසන් 57/2, මෙහිද් හසන් 49/1)

බංග්ලාදේශ පන්දුවාර 41.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 282 යි – (ටැනිසිඩ් හසන් 09, ලිටන් දාස් 23, නජ්මුල් හොසනේ 90, ශකීබ් අල් හසන් 82, මහමුදුල්ලා රියාද් 22, මුෂ්ෆිකර් රහීම් 10, ටව්හිද් රිඩෝයි 15*, මෙහිද් හසන් 03, ටැන්සිම් හසන් 05*, ඩිල්ෂාන් මදුහාක 69/3, මහීෂ් තීක්ෂණ 44/2, ඇන්ජලෝ මැතිව්ස් 35/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee