slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2023
කාන්තා ඕවර් 50 තරගාවලියේ ක්‍රීඩිකාවන් 4ක් ශතක 4ක් ලබයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා වරම් දිනා නැති පියුමිගෙන් කැපී පෙණෙන ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලිය නිමාවෙද්දී ශතක 4ක් වාර්තා විය. එයින් තිදෙනෙකු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් වන අතර, අනෙක් ශතකලාභීනිය තවමත් ශ්‍රී ලංකා වරම් දිනා නොගත් ක්‍රීඩිකාවක්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිල නියෝජනය කළ නාවික හමුදාවේ සත්‍යා සංදීපනී නොදැවී ලකුණු 156ක්, හංසිමා කරුණාරත්න ලකුණු 118ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූහ.

තවමත් ශ්‍රී ලංකා වරම් දිනා නොගත් පියුමි වත්සලා ලකුණු 119ක් ලබා විශාල අවධානයක් දිනා ගැනීමට සමත් වූවාය. දකුණතින් පන්දුවට පහර දෙන ඇය තරගාවලිය පුරා හතරේ පහර 13ක් සමඟ ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වූවාය. 28 හැවිරිදි පියුමි වත්සලා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට එක්වී බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූවාය.

තරගාවලිය පුරා හයේ පහර 6ක් හා හතරේ පහර 27ක් එල්ල කරමින් ලකුණු 250ක් රැස්කළ හංසිමා කරුණාරත්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් අතර, තරග 5කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු 196ක් ලබාගත් හර්ෂිතා සමරවික්‍රම දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය දිනා ගත්තාය.

මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය දිනාගත් හ්‍රී ලංකා නාවික හමුදා පිලේ ඉනෝකා රණවීර තරග 5කදී කඩුලු 17ක් බිදහෙලූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාරුකා ෂෙහානි තරග 6කදී කඩුලු 16ක් බාදහෙලා ගත්තාය. හලාවත මේරියන්ස් කාන්තා පිලේ සඳුනි නිසංසලා හා යුද හමුදාවේ සුගන්ධිකා කුමාරි කඩුලු 15 බැගින්, ටැමිල් යූනියන් කාන්තා පිලේ නිලූකා කරුණාරත්න හා පානදුර ක්‍රීඩා සමාජයේ චේතනා විමුක්ති කඩුලු 14 බැගින් බිදහෙලා ගැනීමට සමත් වූහ.

මෙවර කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව යුද හමුදාව පරදා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගැනීමට සමත් වූවේය.

බීආර්සී පිටියේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර් 50කදී කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී ඕවර් 38කදී කඩුලු 3කට ලකුණු 110ක් ලබා සිටි හෙයින් තරගයේ තීරණය ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ප්‍රදානය විය. තරගය නතර කරද්දී සිදුකළ ගණනයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටීමට සමත් වූහ.

කෙසේ වුවද මෙවර කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේදී අනාගත කාන්තා ක්‍රිකට් ශක්තිමත් කළ හැකි ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම කරලියට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ විශාලතම ජයග්‍රහණයකි.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee