slc
logo
Home   |    News
මාර්තු 14, 2024
බංග්ලාදේශය කඩුලු හයකින් ජය ගනී

Sri Lanka Cricket

බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට ලකුණු 257ක් ලබා මේ ජයග්‍රහණය අත්කර ගනු ලැබීය.

ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 255ක ලකුණු සංඛ්‍යාව හඹායද්දී බංග්ලාදේශය ඕවර 5.1ක් වන විට ලකුණු 23කට ඉදිරිපෙළ කඩුලු තුනක් ද ඕවර 15.3ක් වන විට ලකුණු 92කට කඩුලු හතරක් ද දැවී සිටියත් පස්වන කඩුල්ලට නායක නජ්මුල් හොසෙන් ෂැන්ටෝ පන්දු 129කදී හතරේ 13ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 122ක් ද හිටපු නායක මුෂ්ෆිකුර් රහිම් පන්දු 84කදී හතරේ අටක් සමඟ නොදැවී ලකුණු 73ක් ද රැස් කරමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන යාමට මුල් විණි.

මොවුන් දෙදෙනා පස්වන කඩුල්ලට නොදැවී රැස් කළ සබඳතාවය ඕවර 29.1කදී (පන්දු 175කදී) ලකුණු 165කි.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරුණේ නොදැවී ලකුණු 122ක් රැස් කළ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ය. 25 හැවිරිදි ෂැන්ටෝ රැස් කළ තෙවන එක්දින ශතකය (තරග 43කදී) මෙය වේ.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයන් වූයේ ප්‍රථම කඩුල්ලට පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු 71ත් (ඕවර 9.5යි) පස්වන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක් කළ ලකුණු 69ත් (ඕවර 11.2යි) සිව්වන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක රැස් කළ ලකුණු 44ත් ය. (පන්දුවාර 12.1යි)

ලංකා කණ්ඩායම ලකුණු 50 (ඕවර 6.4) ලකුණු 100 (ඕවර 18.4) ලකුණු 150 (ඕවර 29.5යි) ලකුණු 200 (ඕවර 37.1යි) සහ ලකුණු 250 (ඕවර 47.1) ලබා ගත් අතර ඉනිමේ ඕවරයක සාමාන්‍ය ලකුණු රැස් කිරීමේ වේගය 5.22කි. පළමු පවර්ප්ලේ (ඕවර 1 -10) කඩුලු 1ට ලකුණු 71ක් ද දෙවන පවර්ප්ලේ (ඕවර 10.1 – 40) කඩුලු 4කට ලකුණු 141ක් ද තෙවන පවර්ප්ලේ (ඕවර 40.1 -50) කඩුලු පහකට ලකුණු 35ක් ද ලංකා පිතිකරුවෝ ලබා ගත්හ.

ඉනිමේ පළමු ඕවර දහය තුළ වේගයෙන්ම ලකුණු රැස් කළත් අවසාන ඕවර දහයේ ලකුණු රැස් කිරීමේ වේගයේ අඩාලවීමක් පෙන්නුම් කළේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පැතුම් නිශ්ශංක කණ්ඩායම් දෙක අතර විස්සයි 20 තරගයට ආබාධ මත සහභාගි නොවු අතර අවිශ්ක ප්‍රනාන්දු එම තරගාවලියේ ප්‍රථම හා දෙවන තරග දෙකට පමණක් සහභාගි වුවත් අසාර්ථක විණි. ‍මොවුන් දෙදෙනා අද (13) සුපුරුදු පිතිහරඹයේ නියැළෙමින් වේගයෙන් ලකුණු රැස් කිරීම මත ලංකා කණ්ඩායම ප්‍රථම කඩුල්ලට ඕවර 9.5කදී ලකුණු 71ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. මේ අවස්ථාවේ ටන්සිම් හසන් ෂකිබ්ගේ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු වේග පහරක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී ලකුණු 33කට දැවී ගියේ කඩුලු රකින මුස්ෆිකර් රහිම් අසීරු උඩපන්දුවක් රැක ගැනීමෙනි. ලකුණු අතරට නැවත පිවිස සිටි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33කදී ලකුණු 33ක් රැස් කළේ හතරේ පහක් සහ හයේ පහරක් සමඟිනි.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණක් පමණක් එක්වද්දී මුළු ලකුණු 72දී පැතුම් නිශ්ශංක 21 හැවිරිදි තරුණ වේග පන්දු යවන ටන්සිම් හසන් ෂකිබ්ගේ පන්දුවකට සෞම්‍ය සාකර්ට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 36කටය. (පන්දු 28යි හතරේ පහයි හයේ පහරයි).

අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි ලකුණු අතරට පිවිසෙමින් අර්ධ ශතකයක් කරා ගියත් අංක හතර පිතිකරු සධීර සමරවික්‍රම මෙදින රැස් කළේ ලකුණු තුනක් පමණකි. මුළු ලකුණු 84දී ටන්සිම් හසන් තම තෙවන කඩුල්ල මුළු ලකුණු 84දී දවාලුවේ සධීර දුන් උඩපන්දුව කඩුලු රකින මුස්ෆිකර් රහිම් රැක ගැනීමෙනි.

ලංකා සිව්වන කඩුල්ලට නායක කුසල් මෙන්ඩිස්ගේ සහ උපනායක චරිත් අසලංකගේ ලකුණු 44ක සබඳතාවය මතු වුයේ මේ අවස්ථාවේදීය. චරිත් අසලංක වෙනදා මෙන් වේග පහර එල්ල කිරීමට උත්සාහ නොගනිමින් කඩුල්ලේ රැඳී සිටීමට උත්සාහ දරද්දී මුළු ලකුණු 128දී සිව්වන කඩුල්ල ලෙසට ලකුණු 18කට දැවී ගියේ (පන්දු 37යි හතරේ දෙකයි) මෙහාඩි හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

ශ්‍රී ලංකා ඉනිමේ පසුගිය තරග කිහිපයේදීම මැදපෙළ ශක්තිමත් කළ 28 හැවිරිදි දකුණත් පිතිකරු ජනිත් ලියනගේ මෙදින ද අංක හය පිතිකරුගේ ස්ථානයට පැමිණ සිය පිට පිටම තෙවන අර්ධ ශතකය ලෙස ලකුණු 67ක් රැස් කර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්විය. (පන්දු 69යි හතරේ තුනයි හයේ දෙකයි) ඔහු නායක කුසල් මෙන්ඩිස් සමඟ පස්වන කඩුල්ලට ලකුණු 69ක් ලබා දෙවන වැඩිම සබඳතාවය ද වාර්තා කළේය. ජනිත් මෙදින සහභාගි වුයේ සිය පස්වන එක්දින තරගයටය.

මුළු ලකුණු 197දී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 59කට දැවී ගියේ වේගපන්දු යවන ටස්කින් අහමඩ්ගේ පන්දුවකට නජ්මුල් හොසේන් උඩපන්දුවක් රැක ගැනීමෙනි. මෙන්ඩිස් පන්දු 75කට මුහුණදී හතරේ පහක් සහ හයේ පහරක් ද එල්ල කළේය.

හයවන කඩුල්ලට ජනිත් සහ වනිඳු හසරංග ලකුණු 24ක සබඳතාවයක් තබාගෙන සිටියදී වනිඳු මුළු ලකුණු 221දී ටස්කින් අහමඩ්ගේ පන්දුවකට ටව්හිඩ් හ්‍රිඩෝයි උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු 13කටය. (පන්දු 14යි හතරේ පහරයි හයේ පහරයි)

මහීෂ් තීක්ෂණ මුළු ලකුණු 225දී හත්වන කඩුල්ල ලෙස ලකුණකට දැවීයාමෙන් පසුව 47 වන ඕවරයේ ප්‍රථම පන්දුවේදී ජනිත්, සොරිෆුල් අහමඩ් එවු පන්දුවකට කඩුලු රකින මුස්ෆිකර් රහිම්ට උඩපන්දුවක් දීමෙන් ලකුණු 67කට දැවී ගියේ මුළු ලකුණු 244දී අටවන කඩුල්ල ලෙසටය.

පසුව ප්‍රමෝද් මධුශාන් (08) ළහිරු කුමාර (නොදැවී 05) සහ දිල්ෂාන් මධුශංක (00) අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවීමෙන් ලංකා ඉනිම 255කට සීමා විණි.

බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේදී දිල්ෂාන් මධුශංක එවු ඉනිමේ ප්‍රථම පන්දුවම ලිට්න් දාස්ගේ කඩුල්ලේ වැදීමෙන් ප්‍රථම කඩුල්ල බිඳ වැටිණි.

මධුශංකගේ ඊළඟ ඕවරයේ හතරවන පන්දුවට අනෙක් ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර්, තීක්ෂණට උඩපන්දුවක් දීමෙන් ඔවුනගේ දෙවන කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 14දීය.

මුළු ලකුණු 23දී ඔවුනගේ තෙවන කඩුල්ල ද දැවී ගියේ අංක 4 පිතිකරු ටව්හිඩ් හ්‍රිඩෝයි, ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී ලකුණු තුනකටය. ළහිරු කුමාරගේ පන්දුවකට මුළු ලකුණු 92දී  මහ්මඩුල්ලා ලකුණු 37කට (පන්දු 37යි හතරේ හතරයි හයේ පහරයි) ළහිරු මධුශංක උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. ඉන්පසු ඔවුනගේ හොඳම සබඳතාව නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ කඩුලු රකින මුස්ෆිකර් රහිම් අතර ආරම්භ විණි.

ලකුණු පුවරුව

 ශ්‍රී ලංකාව පන්දුවාර 48.5කදී සියල්ල දැවී 255යි

(ජනිත් ලියනගේ 67, කුසල් මෙන්ඩිස් 59, පැතුම් නිශ්ශංක 36, අවිශ්ක ප්‍රනාන්දු 33, චරිත් අසලංක 18, වනිඳු හසරංග 13, ෂොරිෆුල් ඉස්ලාම් 51/3, ටස්කින් අහමඩ් 60/3, ටන්සිම් හසන් ෂකිබ් 44/3)

බංග්ලාදේශය ඕවර 44.4කදී කඩුලු 4ට 257යි

(නජ්මුල් හොසේන් ෂැන්ටෝ නොදැවී 122, මුෂ්ෆිකුර් රහිම් නොදැවී 73, මහ්මඩුල්ලා 37, දිල්ෂාන් මධුශංක 44/2, ප්‍රමෝද් මධුෂාන් 53/1, ළහිරු කුමාර 35/1යි).

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar