ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (30) ජනතා අයිතියට පත් කෙරුණි.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉල්ලීමකට අනුව ඉදිකළ මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීමෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරීන්, සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම වර්තමාන විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මධ්‍ය තණතිලි 7ක්, පැති තණතිලි පහක් සහ කොන්ක්‍රීට් පැති විකට්ටු දෙකකින් සමන්විත මෙම ක්‍රීඩාංගණය පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීමේ පහසුකම් සලසා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි විටදී පුහුණු තරග පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණය වඩාත් යෝග්‍ය තත්ත්වයක පවතින අතර, පාසල් හා ක්‍රීඩා සමාජ අතර තරගවලටද ඉදිරියේදී අවස්ථා ඉදිරියේදී උදාවේ.
වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරග මෙන්ම කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරග මෙම ක්‍රීඩාංගණයේ පැවැත්විය හැකිය. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මැද තණතිල්ලේ සිට මීටර් 80 ක පරිමිතියකින් ඉදිකර ඇති ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයිනේ දිස්ත්‍රික් ක්‍රිකට් ආවරණය වන පරිදි අළුතින් ඉදිකර විවෘත කරන 11වැනි ක්‍රීඩාංගණය වේ.