slc
logo
Home   |    News
ජූනි 17, 2024
ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

sinhala editor

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබාගත්හ.

ලැබූ එකම තරග ජයග්‍රහණය වූ මෙම තරග ජයග්‍රහණයේ පැහැදිළිම වෙනෙස ලෙස පිතිකරුවන්ගේ දක්ෂතාව මැනැවින් කැපී පෙනුණු අතර ඒ අනුව යමින් පන්දු යවන්නන්ද සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කරලීමට සමත්වීම නිසා කැපී පෙනන ජයකින් තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

මූලික වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ ලද අනපේක්ෂිත පරාජයන් නිසා ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලැබීම අවධානම් තත්ත්වයකට පැමිණියද, නේපාලයට එරෙහිව තරගය සහ නෙදර්ලන්තයට එරෙහිව තරග ජය ගනිමින් දෙවැනි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පැවැතිණ. එහෙත් නේපාලනයට එරෙහිව ෆ්ලොරිඩාහි පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා තරගාවලියේ ඉදිරියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල තබා තිබූ බලාපොරොත්තු ව්‍යර්ථ විය.

ලකුණු පරතරයන් අතින් ගත් විට විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ලද දෙවැනි ඉහළම ජයග්‍රහණය ලෙසින්ද ශ්‍රී ලංකාව අද ලද තරග ජයග්‍රහණය සනිටුහන් විය. මෙය දෙවැනි වන්නේ 2007 වසරේදී ජොහැන්නස්බර්ග්හිදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද ලකුණු 172 ක තරග ජයග්‍රහණය විය.

පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 202 ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණි. පන්දු යැවීමේදී ලකුණු 24 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත් නුවන් තුෂාර කැපී පෙනිිණ. ඊට අමතරව මතීෂ පතිරණ සහ නායක වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කිරීමට දායකත්වය දැක්වූහ.

මැද පෙළ සහ පසුපෙළ අසාර්ථක වුවද නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් වූ මයිකල් ලෙවට් (31) සහ මැක්ස් ඔඩොවි (11) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී වේගවත් ලකුණු 45 ක් එක් කළහ. කෙසේ වෙතත් නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ කමිදු මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් ඔඩොව් දැවී යෑමත් සමඟ නෙදර්ලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ විණ.

නෙදර්ලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූයේ දෙවැනි පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු ලබා ගැනීමට පෙරම දැවී යෑම හේතුවෙනි. එහෙත් අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු කුසල් මෙන්ඩිස් හතරේ පහර 5 ක් සමඟ පන්දු 29 කදී ලකුණු 46 ක් රැස් කරමින් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 45 ක් දක්වා ඉහළ දැමීමට දායකත්වය දැක්වූවේය.

කමිඳු මෙන්ඩිස්ට වේගවත් ස්ථාවරයක් ගොඩ නඟා ගැනීමට නොහැකි වද්දී පිටියට පිවිසි ධනංජජය ද සිල්වා පන්දු 26 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 34 ක් රැස් කරමින් කුසල්ට සහයෝගය ලබා දුන්නේය. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 35 කදී ලකුණු 45 ක් විය.

නිරන්තරයෙන්ම අසාර්ථකත්වයට පත්වන මැද පෙළ ස්ථානයෙන් පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 21 කදී ලකුණු 46 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. ඔහු එම ඉනිම වෙනුවෙන් එල්ල කරන ලද හයේ පහර 5 න් 2 ක්ම වැන් බීක්ගේ  පිට පිට පන්දු දෙකකදී එල්ල කරන ලද ඒවා විය. තෙවැනි පන්දුවටද එලෙසින්ම පහර එල්ල කිරීමට යෑමේදී එය වැරදී යෑම නිසා අර්ධ ශතකය පසෙක තබා චරිත්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ විස්සයි-20 තරග වලදී වැඩිම වාර ගණනක් ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ පිතිකරුවාගේ වාර්තාවද තම අතට ගනිමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ටී.එම්. ඩිල්ෂාන් වන අතර ඔහු අවස්ථා 10 කදී දැවී යෑමෙන් එම වාර්තාවට හිමිකම් කිවූ නමුත් අද දිනයේදී දසුන් දැවී ගිය 11 වැනි වතාවට විය.

ඇන්ජලෝ මැතිව්ස් සහ නායක වනිඳු හසරංග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 14 කදී ලකුණු 35 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන යෑමට දායකත්වය දැක්වූහ. මෙහිදී වනිඳු පන්දු 6 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක්ද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15 කදී ලකුණු 30 ක්ද ලබා කඩුල්ලේ නොදැවී රැඳී සිටියහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක ඇ.සයිබ්‍රෑන්ඩ් ප.කිංග්මා 00
කුසල් මෙන්ඩිස් ඇ.සයිබ්‍රෑන්ඩ් ප.දත් 46
කමිඳු මෙන්ඩිස් ඇ.වෑන්බික් ප.මීකරන් 17
ධනංජය ද සිල්වා ඇ.ලීඩ් ප.ප්‍රින්ගල් 34
චරිත් අසලංක ඇ.ලීඩ් ප.වැන්බීක් 46
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී   30
දසුන් ශානක ඇ.එඩ්වඩ්ස් ප.වැන්බීක් 0
වනිඳු හසරංග නොදැවී   20
අතිරේක 8
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු

201

කඩුලු වැටීම – 100 (පැතුම්), 2-39 (කමිඳු), 3-84 (කුසල්), 4-123 (ධනංජය), 5-166 (අසලංක), 6-166 (දසුන්)
පන්දු යැවීම
විවියන් කිංග්මා 3-0-23-1 ආර්යයන් දත් 3-0-23-1
ලෝගන් වැන්බීක් 4-0-45-2 පෝල් වෑන් මීකිරන් 3-0-37-1
ටිම් ප්‍රින්ගල් 4-0-41-1 බස් ඩි ලීඩ් 3-0-32-0
නෙදර්ලන්තය
මයිකල් ලෙවිට් ස්ට. කුසල් මෙන්ඩිස් ප.මහීෂ් තීක්ෂණ 31
මැක්ස් ඔ ඩොව්ඩ් ඇ.කමිඳු මෙන්ඩිස් ප.නුවන් තුෂාර 11
වික්‍රම්ජිත් සිං ඇ.කමිඳු මෙන්ඩිස් ප.දසුන් ශානක 07
සයිබ්‍රෑන්ඩ් එන්ගලේබ්‍රච්ට් ඇ.චරිත් අසලංක ප.මතීෂ පතිරණ 11
ස්කොට් එඩ්වඩ්ස් ඇ.මහීෂ් තීක්ෂණ ප.නුවන් තුෂාර 31
බස් ඩි ලීඩ් ඇ.චරිත් අසලංක ප.වනිඳු හසරංග 03
ලෝග්න් වැන්බීක් දුවද්දී දැවී ගියා කුසල් මෙන්ඩිස් 0
ටිම් ප්‍රින්ගල් ස්ට. කුසල් මෙන්ඩිස් ප.වනිඳු හසරංග 2
ආර්යයන් දත්   ප.මතීෂ පතිරණ 10
පෝල් වෑන් මීකිරන් කඩුල්ල මුවා කළා ප.නුවන් තුෂාර 3
විවියන් කිංග්මා නොදැවී   1
අතිරේක     8
එකතුව පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී ලකුණු 118
කඩුලු වැටීම / – 1-45 (ඔඩොවිඩ්), 2-47 (ලෙවිට්), 3-62 (වික්‍රම්ජිත්), 4-68 (සයිබ්‍රෑන්ඩ්), 5-71 (ලීඩ්), 6-71 (වැන්බික්), 7-82 (ප්‍රින්ගල්), 8-99 (දත්, 9-117 (එඩ්වඩ්ස්)
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 2-0-20-0 නුවන් තුෂාර 3.4-0-24-3
මහීෂ් තීක්ෂණ 3-0-25-1 වනිඳු හසරංග 4-0-25-2
දසුන් ශානක 1-0-10-1 මතීෂ පතිරණ 3-0-12-2

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar