ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව චරිත් ලකුණු 206 ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය.
පන්දු 142 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලබා ගත් ලකුණු 206 න් ලකුණු 144 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය. චරිත් තම ඉනිම,හයේ පහර 16 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් කර තිබුණේය.
පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම වේගයෙන් පන්දුවට පහර දීමට උනන්දුවක් දැක්වූ කලම්බු නායකයා තම පළමු ලකුණු 100 සඳහා පන්දු 92 කට මුහුණ දුන්නේය. අනතුරුව ද්විත්ව ශතකය කරා ගිය ගමනේදී රැස් කර ගන්නා ලද ඉතිරි ලකුණු 100 සඳහා චරිත් වැය කරන ලද්දේ පන්දු 48 ක් පමණි. කලම්බු ඉනිම හමාර වීමට පන්දු දෙකකට පෙර අසලංකා දැවී ගියේ ළහිරු මදුශංකගේ වේගපන්දුවක් හමුවේ විජයකාන්ත් වියස්කාන්ත් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට කලම්බු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 413 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. එයද නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.
චරිත් අසලංකට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 126 ක් රැස් කර ගත් අතර ඊට ඔහු පන්දු 113 ක් වැය කළේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් අවිශ්කගේ ඉනිමට ඇතුළත්ව තිබිණ. මැදපෙළින් පැමිණි දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරතවෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 18 කදී ලකුණු 39 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. දසුන් එල්ල කරන ලද හයේ පහර 4 න් 3 ක්ම ඉසිත විජේසුන්දර විසින් ක්‍රියාත්මක කරන ලද 49 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 3 කදී එල්ල කරන ලද ඒවා විය.
කලම්බු ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 413 යි
චරිත් අසලංක 206, අවිශ්ක ප්‍රනාන්දු 126, කුසල් පෙරේරා 00, කුසල් මෙන්ඩිස් 01, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක 39*, චමිඳු වික්‍රමසිංහ 00, විශාඩ් රන්දික 01*, ළහිරු මදුශංක 77/2, මතීෂ පතිරණ 85/2, ඉසිත විජේසුන්දර 74/1