බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. ඒ අනුව මදුශංක එක්දින පිටියට පිවිසෙන්නේ මාස 7 ක කාලයකට පසුව වීම කැපී පෙනෙයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ෂායි හෝප් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියේය. ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමුව පන්දුවට පහර දෙන පළමු අවස්ථාවද අද තරගය වන්නේය.
ශ්‍රී ලංකාව අද තරගය සඳහා වෙනස්කම් දෙකක් සිදුකරමින් අවතීර්ණව සිටියි. ඩිල්ෂාන් මදුශංකට අමතරව පැතුම් නිස්සංකවද අද තරගය සඳහා කැඳවා තිබේ. ආබාධයක් හේතුවෙන් පැතුම්ට පළමු එක්දින තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූවේය. එම තත්ත්වය මත ඔහු කණ්ඩායමට කැඳවීමේදී නිශාන් මදුශ්කට සිය ස්ථානය අහිමිව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 23 කට ක්‍රීඩා කර ඇති වමත් වේග පන්දු යවන්නා අවසන් වතාවට තරගයකට ක්‍රීඩා කරන ලද්දේ ඉකුත් මාර්තු මාසයේදීය. බංග්ලාදේශයට එරෙහිව චැටෝග්‍රෑම්හි පැවැති තරගයෙන් පසු ඩිල්ෂාන් එකම එක්දින තරගයකට හෝ ක්‍රීඩා නොකළේය.
තරගාවලියේ පළමු තරග 2 ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වන්නේ තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කරමිනි. එබැවින් අද තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී ලංකාව ලබා සිටින තරගාවලි ජයෙහි කිසිදු වෙනසක් සිදුනොවන්නේය.
අද තරගය සඳහා පිළියෙළ කර තිබෙන තණතීරුවද දඟ පන්දු යවන්නන්ට හිතකර එකක් වනු ඇති බවට අපේක්ෂා පළ කළත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණව සිටීම කැපී පෙනෙයි. ඩිල්ෂාන් මදුශංකට අමතරව අද තරගයට ක්‍රීඩා කරන සෙසු වේග පන්දු යවන්නා වන්නේ අසිත ප්‍රනාන්දු වේ.
මේ අතර අද තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදුකරමින් අවතීර්ණව සිටියි. පිතිකරුවන් ලෙසින් එවින් ලුවිස් සහ ජුවෙල් ඇන්ඩෘද වේග පන්දු යවන්නකු වන මැතිව් ෆෝර්ඩ් කණ්ඩායමට පැමිණ සිටිති. මේ අතරින් ජුවෙල් ඇන්ඩෘ මංගල එක්දින වරම් දිනා ගත්තේය. තවමත් 17 හැවිරිදි වියේ පසුවන්නේය. මොවුන් තිදෙනා කණ්ඩායමට පැමිණීමේදී දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද ඇලික් අතනාස්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ හේඩ්න් වෝල්ෂ්ට ස්ථාන අහිමි ව තිබේ.
ශ්‍රී ලංකා පිල රෝස පටියක් බැඳ පිටියට
මේ අතර අද තරගයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රෝස පැහැති රිබන් පටියක් බැඳ ක්‍රීඩා කරනු ඇත. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් මෙම රෝස පැහැති රිබන් පටිය පැළඳ තිබේ. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇති ඔක්තෝම්බර් මාසය සංඛේතවත් කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියයුරු පිළිකා වළක්වාලීම සඳහා සිදුකරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්වන සහයෝගය පිළිබිඹු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3.කුසල් මෙන්ඩිස්, 4.කමිඳු මෙන්ඩිස්, 5.චරිත් අසලංක (නායක), 6.සදීර සමරවික්‍රම, 7.ජනිත් ලියනගේ, 8.වනිඳු හසරංග, 9.මහීෂ් තීක්ෂණ, 10.ඩිල්ෂාන් මදුශංක, 11.අසිත ප්‍රනාන්දු.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 1. බ්‍රෙන්ඩන් කිං, 2.එවින් ලුවිස්, 3.ෂායි හෝප් (නායක), 4.කේසි කාර්ටි, 5.ජුවෙල් ඇන්ඩෘ, 6.ෂෙර්ෆාන් රදර්ෆර්ඩ්, 7.රොස්ටන් චේස්, 8.ගුඩාකේෂ් මෝති, 9.ජේඩ්න් සීල්ස්, 10.අල්සාරි ජෝසප්, 11.මැතිව් ෆෝර්ඩ්.