පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ලකුණු 58 ක් ඇතුළත කොදෙව් ඉදිරි පෙළ කඩුලු 8 ක්දම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, 9 වැනි කඩුල්ලට එක් වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩාකේෂ් මෝති ලකුණු 119 ක වාර්තා ගත සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව ගෞරවාන්විත ස්ථානයක් කරා රැගෙන ගියහ. පන්දු 115 කදී වාර්තා වුණු මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව වසර 50 කට ආසන්න එක්දින තරග ඉතිහාසයේ එම කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සිව්වැනි හොඳම සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය. එම සම්බන්ධතාව හේතුකොට ගෙන පන්දුවාර 36 ක් අවසනදී කොදෙව් ලකුණු පුවරුව ලකුණු 189 ක් ලෙසින් සටහන් විණ.
මෙම කඩුල්ලේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික පිතිකරණ යුගලයක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග දෙදෙනා වේ. ඔවුහු 2010 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 132 එම කඩුල්ලේ ලෝක වාර්තාව වේ. එම සම්බන්ධතාව නොවන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 80 ට අඩුවෙන් නවතාලීමට ශ්‍රී ලංකාවට ඕනෑ තරම් අවස්ථාව තිබිණ.එහෙත් ඒ සියල්ල රදර්ෆර්ඩ් – මෝති යුගල ඊට හරස්විණ.
මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව බිද වැටෙන විට කොදෙව් ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. මෙහිදී ඒ අතර තුර රැක ගත හැකි ආකාරයේ පහසුම උඩ පන්දු දෙකක්ම ජනිත් ලියනගේ සහ නිශාන් මදුෂ්ක අතින් ගිලිහී යෑමේ වාසියද ප්‍රතිවාදී පිතිකරුවන් සතුවූහ.
රදර්ෆර්ඩ් ලකුණු 23 ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට දුන් පහසු උඩ පන්දුව මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජනිත් ලියනගේගේ අතින් ගිලිහී යන විට කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 99 ක් වශයෙනි. වෙල්ලාලගේගේ පන්දුවකට ඩීප් මිඩ් විකට්හි පන්දු රැකි නිශාන් මදුෂ්ක විසින් උඩ පන්දුව අත හැර දමන විට රදර්ෆර්ඩ් ලකුණු 72 ක් ලබා ශ්‍රී ලංකාවට කල හැකි උපරිම හානිය සිදුකර තිබුණේය.
කෙසේ වෙතත් ඒ අතරතුර කාලයේදී තමන්ට ලැබුණු උපරිමය වාසිය ලබාගත් රදර්ෆර්ඩ් දැවී යෑමට මත්තෙන් පන්දු 82 කට මුහුණ දී ලබා ගත් ලකුණු 80 ක ඉනිම හේ හතරේ පහර 7 ක් සහ දැවැන්ත හයේ පහර 4 එල්ල කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ගුඩාකේෂ් මෝති පන්දු 61 කදී ලකුණු 50 ක් වාර්තා කර ගත්තේය.
පන්දු යැවීමේදී දඟ පන්දු යවන්නන් වූ වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 7 ක් තමන් සතු කර ගත්හ. එහිදී කැපී පෙනුණු වනිඳුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 8 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් වශයෙනි. පළමු පවර් ප්ලේ අවස්ථාවේ සිටම පන්දු යැවූ මහීෂ් තීක්ෂණ ඉදිරිපෙළ පිතිකරුවන් යුගලයද සමඟ තම පන්දු යැවීම සටහන් කර ගත්තේ පන්දුවාර 9 කදී එක් නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 25 කට කඩුලු 3 ක් වශයෙනි.
දඟ පන්දු යවන්නන්ට සහාය දෙනු ලබන පල්ලේකැලේ තණතීරුවේදී ඉතා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු ලකුනු 35 කට කඩුල 3 ක් දවා ගත්තේය. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 44 කට සීමා වෙමින් පැවැත්විණ.
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 189 යි බ්‍රෙන්ඩන් කිං 16, අලික් අතනාස් 01, කේසි කාර්ටි 06, ෂායි හෝප් 05, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 80, රොස්ටන් චේස් 08, රොමාරියෝ ෂෙපර්ඩ් 04, හේඩඩ්න් වෝල්ෂ් 01, අල්සාරි ජෝසප් 01, ගුඩාකේෂ් මෝති 50*, ජේඩ්න් සීල්ස් 05, වනිදු හසරංග 40/4, මහීෂ් තීක්ෂණ 25/3, අසිත ප්‍රනාන්දු 35/3