slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2024
දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7 ක් අතැතිව ලකුණු 221 කින් ඉදිරියට

sinhala editor

බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී ක්‍රීඩාව නතර කර දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 191 ක් ලබා සිටියේය. ඒ අනුව මුල් ඉනිමේදී ලද ලකුණු 30 ක වාසියද සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායම වේන විට සමස්ථ තරගයේ ලකුණු 221 ක් ඉදිරියෙන් සිටියි.

නායක ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 82 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට එරෙහි ජයග්‍රාහී ලකුණු පුවරුව තර කරමින් සිටිති.

මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම 3 දීම ලකුනු 50 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට සමත්ව සිටින නායක බවුමා පිට පිට සිව්වැනි වතාවටත් අර්ධ ශතකයක් අත පොවන මායිමට පැමිණ සිටියි. ඒ ලකුණු 48 ක් වශයෙනි. ඔහුට අනගි සහායක් ලබා දෙමින් සිටින ස්ටබ්ස් නොදැවී ලකුණු 36 ක් ලබා තරගයේ සිව්වැනි දිනය ආරම්භයේදීත් පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති.

තුන්වැනි දිනය ආරම්භයේදී කඩුල්ලේ රැදී සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ කමිදු මෙන්ඩිස් පන්දු 13 ක් ඇතුළතදී දැවී යෑම ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු පළමු ඉනිම අභිබවා යෑමට නොහැකිවීමට ප්‍රධානම හේතුව විය. ඔවුුන් දෙදෙනාගේ කඩුලු මාර්කෝ ජැන්සන් විසින් දවා ගත්තේය. කණගාටුවට කරුණ වන්නේ මෙම කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 62 කදී නිමාවට පත් වන්නේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමටත් පෙරදී වීමයි.

දෙවැනි නව පන්දුව ලබා ගැනීමට පන්දු වාර 2 ක් තිබියදී තමන් සතු විශ්වාසනීයම පන්දු යවන්නා වුණු මාකෝ ජැන්සන්ට පරණ පන්දුව භාර කළේ නව පන්දුවට අවශ්‍ය රිද්මය සකසා ගැනීමටය. එහෙත් ඊට පෙරම කෙටි පන්දුවක් යැවූ ජැන්සන් මැතිව්ස්ගේ කඩුල්ලට වග කිව්වේය. ශ්‍රී ලංකා ඉනිමේ ඊළඟ කඩුල්ල ලෙසින් කමිඳු මෙන්ඩිස් දැවී ගියේ ජැන්සන් විසින් නව පන්දුවෙන් යවන ලද පළමු පන්දුවාරයේදීමය.

කෙසේ වෙතත් දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ පන්දු යැවීමට පැමිණි ඩෙන් පැටර්සන් එක් පන්දුවාරයක් තුළ පිතිකරුවන් තිදෙනකුම දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කර ගත්තේ ශ්‍රී ලංකාවට එතෙක් තරගයේ තිබුණු වාසි සියල්ලම දකුණු අප්‍රිකානුවන් වෙත ලබා දෙමිනි.

පැටර්සන් පන්දු යැවීමට පැමිණෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුනු 297 ක් ලෙසින් සටහන්ව තිබිණ. ඒ වන විටත් ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකානු පළමු ඉනිම අභිබවා යෑම සඳහා අවශ්‍යව තිබුණේ කඩුලු 5 ක් ඇතුළත ලකුණු 61 ක් පමණි. එහෙත් අවාසනාවක මහත නම් පැටර්සන්ගේ පන්දුවාරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 296 ක් ලෙස සටහන් වීමයි. ධනංජය ද සිල්වා (14), කුසල් මෙන්ඩිස් (16) සහ ළහිරු කුමාර (00) පැටර්සන්ගේ 17 වැනි පන්දුවාරයේ දැවී ගිය පිතිකරුවෝ බවට පත්වූහ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 358 යි

රයාන් රික්ල්ටන් 101, ටෙම්බා බවුමා 78, කයිල් වර්රීන් 105*, අසිත ප්‍රනාන්දු 102/3, ළහිරු කුමාර 79/4

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 99.2 කදී සියලු දෙනා දැවී ලකුණු 328 යි

පැතුම් නිස්සංක 89, දිමුත් කරුනාරත්න 20, දිනේෂ් චන්දිමාල් 44, ඇන්ජලෝ මැතිව්ස් 44, කමිඳු මෙන්ඩිස් 48, ධනංජය ද සිල්වා 14, කුසල් මෙන්ඩිස් 16, ප්‍රභාත් ජයසූ4රිය 24, ළහිරු කුමාර 00, විශ්ව ප්‍රනාන්දු 02, අසිත ප්‍රනාන්දු 00*, ඩේන් පැටර්සන් 71/5, මාකෝ ජැන්සන් 100/2, කේෂව් මහරාජ් 65/2

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම පන්දුවාර 55 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 191 යි

ටෝනි ඩි සෝර්සි 19, ඒඩ්න් මාක්‍රම් 55, රයාන් රිකල්ටන් 24, ට්‍රිස්ටන් ස්ටබ්ස් 36*, ටෙම්බා බවුමා 48*, ප්‍රභාත් ජයසූරිය 75/2, විශ්ව  ප්‍රනාන්දු 34/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee