slc
logo
Home   |    News
ජනවාරි 24, 2025
කැන්ගරුවන්ට එරෙහි සටනට ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor

වෝන් – මුරලි ශූරතා කුසලාන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනා අතරට වසර 3 කට ආසන්න කාලයකට පසු පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක පමණක් වැන්ඩර්සි ක්‍රීඩා කර තිබේ. ඔහුට අමතරව නම් කරන ලද කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සොනාල් දිනූෂ සහ කඩුලු රකින්නකු වන ඉදිරි පෙළ පිතිකරු ළහිරු උදාරව එක් කිරීමට පියවර ගෙන තිබේ.

සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු උදාර මීට පෙර එක්දින සහ විස්සයි-20 ජාතික කණ්ඩායමට නම් කරන ලද නමුත් සොනාල් දිනූෂ ජාතික කණ්ඩායමට නම් කර ඇත්තේ පළමු වතාවටය. වමතින් දඟ පන්දු යවන සොනාල් දිනූෂ වමතින් පන්දුවට පහර දෙයි. 24 හැවිරිදි වියේ පසුවන මේ යෞවනයා කොළඹ සී. සී. සීි. ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේය. මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක 2 ක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දක්වා තේරීම් කමිටුවේ අවධානය දිනාගෙන සිටියි.

කොළඹ ඩි ලාසාල් සහ මහනාම විදුහල්වල ක්‍රිකට් ක්‍රීඩා කරමින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමට සමත් සොනාල්, ඉකුත් 2024 නොවැම්බර් මසදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැති පළමු සිව්දින තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 30 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 62 ක්ද, දෙවැනි සිව්දින තරගයේ පළමු ඉනිමේ නොදැවී ලකුණු 85 ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 116 ක්ද වශයෙන් ලකුණු ලබා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමද ක්‍රීඩා කර ඇති සොනාල් දිනූෂ, පළමු පෙළ තරග 44 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.08 ක් රඳවා තබා ගනිමින් ලකුණු 2285 ක් ද පන්දු යවමින් කඩුලු 94 ක් ද දවා ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව අවසන් වතාවට දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටි වේග පන්දු යවන කසුන් රජිත සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙහි පළමු තරගය ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වාත් දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වැනිදා සිට 10 වැනිදා දක්වාත් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම –

ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක (ශාරීරික යෝග්‍යතාවය මත), ඔෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සි. නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, මිලාන් රත්නායක.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee