වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු බාළිකා පිල පරදවා ලකුණු 12ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට අද (29 දා) සමත්විය. කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානු බාළිකා පිලක් පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම තරගය ඉතිහාසයට එක්විය’
මෙම තරගයේ ජය ශ්‍රී ලංකා බාළිකාවියන් අත්කරගත්තද සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ සහභාගිවීමට නියමිතව තිබූ ස්කොට්ලන්තයට එරෙහි තරගය වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ප්‍රතිඵල රහිත වීම නිසා අවසන් කණ්ඩායම් 4 අතර වටයට යෑමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව අවහිර විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙතින් අද පරාජයට පත් වුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 31 වැනිදා අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු පිල සමගද ඉන්දියානු බාළිකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමඟද තරග වදිනු ඇත.
ලකුණු 100 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දඟ පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 87 ක් පමනි. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුනේ කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී ලිමන්සා තිලකරත්න එක් කඩුල්ලක් බිඳ හෙළුවාය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභිනාය වූ කාඕමී බ්‍රේ ගේ (27) දවා ගැනීමට සමත් ලිමන්සා තිලකරත්න එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය. එම දවා ගැනීමට අමතරව ඇය දුවද්දී දවා ගැනීමට සහ එක් උඩ පන්දුවක් රැක ගැනීමට ද සමත්වූවාය.
සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසුනද ස්කොට්ලන්තයට එරෙහි තරගයට වර්ෂාව හරස්වීම නිසා එම තරගය ප්‍රතිඵල රහිත වීමෙන් අවසන් කණ්ඩායම් 4 පිවිසීමේ බලාපොරොත්තු අත හැර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. කෙසේ වෙතත් තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරමින් ක්‍රීඩාංගණයට පිවිසි ශ්‍රී ලංකා බාළිකාවෝ කාසිය වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමට තීරණහ කළහ. ඒ අනුව ඉනිම ඇරැඹි සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 36 දක්වා ඉහළ දැමූහ. කෙසේ වෙතත් ලිලී බැසින්ත්වයිට් පැමිණීමත් සමඟ එම සම්බන්ධතාවය බිඳ වැටිණ. අනතුරුව කාවින්දිද ටෙගාන් හමුවේ දැවී යන ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 56 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් විය.
ඒ වන විටත් ඉනිමේ හරි අඩක් අවසන් වි තිබුණු අතර එතැන් පටන් තරගයේ පාලනය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියෝ නතු කරගත්හ. එතැන් පටන් කිසිදු විශාල ලකුණු සම්බන්ධතාවලට අවස්ථාව ලබා නොදුන් ප්‍රතිවාදී පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 20 දී ලකුණු 99 කට සීමා කළේ කඩුලු 8 ක් දවා ගනිමිනි. ඒ අතරින් කැපී පෙනෙන පන්දු යවන්නිය වූ බැසින්ත්වයිට් කඩුලු 3 ක් දවා ගනිද්දී විලියම්සන් සහ හස්රත් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 99 යි – (සංජනා කාවින්දි 19, සුමුදු නිසංසලා 18, මනුදි නානායක්කාර 15, හිරුණු කුමාරි 14, ලිලී බැසිත්වෙයිට් 07/3, ටෙගාන් විලියම්සන් 19/2, හර්සාත් ගිල් 18/2)
ඔස්ට්‍රේලියා අවු. 19 න් පහළ බාළිකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 87 යි – (අයිනස් මැකියෝන් 10, ලුසී හැමිල්ටන් 10, කාඕම් බ්‍රේ 27, එලීනර් ලාරෝසා 18, ග්‍රේස් ලයන්ස් 10*, චමුදි ප්‍ර බෝදා 13/2, ප්‍රමුදි මෙත්සරා 16/2, අසේනි තලගුණේ 18/2, ලිමන්සා තිලකරත්න 18/1)