slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2025
චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්

sinhala editor

By Chamila Karawita

පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මේ තරග ජයත් සමග තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ තරගාවලිය පරාජය නොවන මානයකට පැමිණෙමිනි.

ලකුණු 214 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. ඉනිමේ යවන ලද දෙවැනි පන්දුවෙන්ම මැට් ෂෝර්ට්ව දවා ගත් අසිත ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවට දුර්වල ආරම්භයක් ලබා දුන්නේය. ඉන් නොනැවතුණු දකුණත් වේග පන්දු යවන්නා නැවතත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ජේක් ෆ්‍රෙසර්ව පෙරළා උඩ පන්දුවක් රැක ගනිමින් ක්‍රීඩා ගාරය වෙත යවන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 07 ක් ලෙස සනිටුහන් විය.

මහීෂ් තීක්ෂණගේ පන්දුවක් ස්ලොග් ස්වීප් පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී කූපර් කොනොලි ද ලකුණු 03 කට දැවී යන විට කණ්ඩායමේ සමස්ථ බරම නායක ස්ටීවන් ස්මිත් සහ මානස් ලබුෂේන්ගේ කරමත පැටවිණි. එහෙත් කරලියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානුවන් තවදුරටත් පීඩනයට ලක් කළේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ නායක චරිත් අසලංක රැස් කරන ලද අගනා ශතකයට අමතරව ඔස්ට්‍රේලියානු ඉනිමේ තීරණාත්මක පිතිකරුවකු වන ඇලෙක්ස් කේරිගේ කඩුල්ලද දවා ගත්තේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා වන තවත් ඉඩ කඩ විවර කර දෙමිනි.  පන්දු යැවීමේදී වැඩිම කඩුලු ලාභියා වූ මහීෂ් තීක්ෂණ, ලකුණු 40 කට කඩුලු 4 ක් බිද හෙළද්දී දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

වැඩි ලකුණු සංඛ්‍යාවක් රඳවමින් ප්‍රතිවාදී පිලට අභියෝගයක් ලබාදීමේ අරමුණු කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ එම බලාපොරොත්තුව ව්‍යර්ථ විය. තම පිතිකරුවන් එකා පිටුපස එකා දැවී යද්දී පිටිය මැදදී නොසැලී සිටි චරිත් අසලංක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ඨ ශතකයක් වාර්තා නොකරන්නට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඇතැම්විට මීට වඩා කණගාටු දායක මට්ටමකට ඇද වැටීමට ඉඩ තිබිණ.

ඉනිමේ 8 වැනි කඩුල්ල 33 වැනි පන්දුවාරයේදී බිද වැටෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුනේ ලකුණු 122 ක් ලෙසිනි. එතැන් පටන් පිටියට පිවිසි එෂාන් මාලිංග සමග එක්වුණු චරිත් අසලංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ පන්දු යවන්නකු ලෙසින් පිටියට පිවිස සිටින මාලිංගවද ආරක්ෂා කර ගනිමිනි. පන්දු වාර වැඩි ගණනක් තනිවම පන්දුවට පහර දුන් අසලංක 9 වැනි කඩුල්ල වෙනුවෙන් මාලිංග සමග එක් කළ ලකුණු සංඛ්‍යාව 79 ක් විය. මෙයට මාලිංගගේ දායකත්වය එක් ලකුණකින් වීම කැපී පෙනෙයි. එම ලකුණ ලබ ගැනීම සඳහා ඔහු 17 වැනි පන්දුව තෙක් ඉවසා සිටීමද කැපී පෙනෙනි.

පන්දු 126 කට මුහුණ දුන් චරිත් අසලංකගේ ඉනිම අලංකාර හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. තරග 72 කින් සමන්විත අසලංකගේ එක්දින තරග දිවියේ සිව්වැනි ශතකය ලෙසින් සටහන් වුණු මෙම ලකුණු 127 ක ඉනිම, එම තරග දිවියේ ඔහු රැස් කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

අසලංක මෙම ඉනිම ආරම්භයේදී කෙතරම් ඉවසීමෙන් යුක්තව පන්දුවට පහර දුන්නේ ද කිවහොත් ඔහු පළමු ලකුනු 3 ලබා ගැනීම සදහා පන්දු 19 ක් වැය කළේය. ඉදිරි පෙළ පිතිකරුවන් දැවී යන අතර වාරයේදී නායකයාට එක් වුණු දුනිත් වෙල්ලාලගේ (30) දැඩි ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් පිටියේ කැපී පෙනෙන සේවයක් ඉටු කළේය. එහෙත් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ වෙල්ලාලගේ ඉනිම පන්දු 34 කදී නිමාවට පත්විය. දැවී යනවිටත් නායකයා සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක් කිරීමට වෙල්ලාලගේ දායකත්වය ලබා දී තිබිණ.  

ෂෝන් ඇබොට් වේගය අඩාල කරමින් එවන ලද පන්දුවට එල්ල කරන ලද පහර වැරදී යෑමෙන් අසලංකගේ ඉනිම හමාර වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නිමාවීමට තවත් ගත වූයේ පන්දු 4 ක් පමණි.

ටෙස්ට් තරගාවලියේ පරිදිම ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වීම කණගාටුදායක තත්ත්වයක විය. ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම තරග නරඹන්නන් වීමට වැය වූයේ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඕවය අවසන් වීමට ප්‍රථම ගතවූ කාලය පමණි. පන්දුව පැමිණෙන රේඛාවට අනුගත නොවී පිත්ත පමණක් හුවා දැක්වීමට යෑමේදී එය කඩුල්ලෙන් පිටුපසට උඩ පන්දු ලෙසින් රැක ගැනීම නිසා ආරම්භක පිතිකරුවන් දෙදෙනාට පිටියෙන් ඉවත්වීමට සිද්ධ විය.

ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් කොතෙක් දුර්වල වූවේද වර්තමානයේ බලාපොරොත්තු තබා තිබෙන පිතිකරුවකු බවට පත්ව සිටින කමිඳු මෙන්ඩිස් දැවී යන විට 7 වැනි පන්දුවාරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 31 ක් ලෙසිනි.

තණතීරුවේ පෙනුම දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බවට අපේක්ෂා කෙරුණද අද තරගයට ඔස්ට්‍රේලියානුවන් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු ක්‍රීඩා කරවීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ අවධානයට හේතුවූ කරුණක් බවට පත්විය. ස්පෙන්සර් ජොන්සන්, නේතන් එලිස්, ෂෝන් ඇබොට් සහ ආරොන් හාර්ඩි එම වේග පන්දු යවන්නන් සිවුදෙනා වන අතර ඔවුන් දැවී ගිය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 න් 9 ක්ම දවා ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 214 යි – (අවිශ්ක ප්‍රනාන්දු 01, පැතුම් නිස්සංක 04, කුසල් මෙන්ඩිස් 19, කමිදු මෙන්ඩිස් 05, චරිත් අසලංක 126, ජනිත් ලියනගේ 11, දුනිත් වෙල්ලාලගේ 30, වනිඳු හසරංග 07, මහීෂ් තීක්ෂණ 02, එෂාන් මාලිංග 01*, අසිත ප්‍රනාන්දු 00, ෂෝන් ඇබොට් 61/3, ස්පෙන්සර් ජොන්සන් 44/2, ආරොන් හාඩි 13/2, නේතන් ඇලිස් 23/2, මැතිව් ෂෝර්ට් 39/1)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (මැතිව් ෂෝරට් 00, ජේක් ෆ්‍රෙසර් 02, කූපර් කොනොලී 03, ස්ටීවන් ස්මිත් 12, මානස් ලබුෂේන් 15, ඇලෙක්ස් කේරි 41, ආරොන් හාර්ඩි 32, ෂෝන් ඇබොට් 20, නේතන් එලිස් 00 ඇඩම් සම්පා 20, ස්පෙන්සර් ජොන්සන් 00, මහීෂ් තීක්ෂණ 40/4, අසිත ප්‍රනාන්දු 23/2, දුනිත් වෙල්ලාලගේ 332, වනිදු හසරංග 47/1, චරිත් අසලංක 05/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee