ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයින් වැඩි වශයෙන් හුරු කිරීමේ උදාර පරමාර්ථ ඇතිව මෙරට ප්‍රධාන පෙලේ පාසැල්වල වාර්ෂිකව පවත්වනු ලබන දින දෙකේ මහා ක්‍රිකට් තරග 28ක් දින තුනේ තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 125ක් පාසල් ක්‍රිකට් සංගමය හරහා පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසීය.
මහා ක්‍රිකට් තරගවලට එක්ව සිටින පාසල් 56ක් සඳහා මෙලෙස මූල්‍ය දායකත්වය ලබාදෙන අතර, පාසල් කාලයේදීම ක්‍රීඩකයින්ට දිගු ඉනිම් ක්‍රීඩා කරමින් දරා ගැනීමේ ශක්තිය ඇති කිරීම මෙමඟින් අරමුණු වේ. උතුරු – නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල ප්‍රධාන පෙළේ තරග තෙදින තරග බවට පත් කිරීම මේ වසරේ සිට සිඳු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“ පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂිකව රුපියල් මිලියන 500ක් පමණ වෙන් කරනවා. ඒ වුණත් එයට අමතරව යම් විශේෂ කටයුත්තකට පාසල් සංගමය මුදල් ඉල්ලා සිටියොත් විධායක කමිටු අනුමැතියකින් ඒ මුදල් දීමටටත් කටයුතු කර තිබෙනවා. මෙයට අමතරව කාන්තා මහා තරග වෙනුවෙන් පාසලකට රුපියල් ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දෙනවා. මේ තත්ත්වය මත පාසල් ක්‍රිකට් වේගෙන් ඉදිරියට පැමිණ තිබීම සතුටට කරුණක්“ ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසූවේ වයස අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ වසරකට වැඩිම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංචිධානය කරන බවය. මෙයට අමතරව කාන්තා 19න් පහළ තරගාවලිය හා 16න් පහළ ටේප්බෝල් තරගාවලිය ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය යටතේ සංවිධානයවන බව ඒ මහතා පැවැසීය.
“පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන කාණ්ඩ 3 යටතේ වසරක් තුළ පාසල් තරග 6800ක් පමණ සංවිධානය කරනවා. අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු සහ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ සිට අවසන් මහ තරගය දක්වා තුන් දින තරග ලෙස පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ඉතා හොඳ අවබොධයකින් කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ පාසල් තුලින් ඉතා හොඳ මට්ටමේ ක්‍රීඩකයින් ජාතික තලයට බිහි කිරීමයි. මේ සඳහා නායකත්වය දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙන්ම, සහයෝගය දුන් පාසල් විදුහල්පතිවරුන්ට ස්තූතිය හිමි කරනවා” තිලක් වත්තුහේවා මහතා පැවැසීය.
“මේ තරගාවලි වගේම පාසල් ක්‍රිකට් සංවර්ධනයට අවහ්‍ය භෞතික සම්පත් වගේම ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල මුදලක් වාර්ෂිකව ලබා දෙනවා. දරුවන්ට ක්‍රීඩාව තුලින් පාසල් අධ්‍යාපනයත් සමඟ නායකත්ව කුසලතාව හා තීරණ ගැනීම වැනි සුවිශේෂී ගුණාංග සංවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. මෙයින් දක්ෂතම ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් දිස්ත්‍රික්, පළාත් හා ජාතික තලයට ගෙන ඒම ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩ පිළිවෙලේ අරමුණයි. මෙයින් අත්දැකීම් ලබාදී ජාත්‍යන්තර තලයට ක්‍රීඩකයින් ගන්නවා“ වත්තුහේවා මහතා පෙන්වා දුන්නේය. මෙම වැඩ පිළිවෙලේ යහපත් අවස්ථාවක් ලෙස මහා තරග දින තුනක් දක්වා පරිවර්ථනය කිරීම බව ඒ මහතා පැවැසීය.
මේ වසරේ සිට ක්‍රියාත්මක තුන්දින ක්‍රිකට් තරග රටාව අනුව පාසල් කණ්ඩායමක් අවම වශයෙන් දිනකදී ඉනිමක් ක්‍රීඩා කිරීමට සූදානම්වී පැමිණීම වැදගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කළමනාකරු රුවන් කල්පගේ මහතා පැවැසීය.
“ක්‍රීඩකයෙකු තීරණ ගැනීමේදී හා අභියෝගවලට මුහුණදීමේදී දක්වන කුසලතා හා ආකල්ප වැදගත් වෙනවා. මේ තරග රටාවෙන් ක්‍රීඩකයෙකුට අවශ්‍ය බොහෝ මූලික දේ හඳුනාගත හැකියි. පිතිකරුවන්ට යම් අරමුණක් ඇතිව ක්‍රීඩා කරන්න වෙනවා. පන්දු යවන්නන්ට ඉලක්කයක් තිබෙනවා ඉක්මණින් කඩුලු ලබාගෙන තමන්ගේ කණ්ඩායම පන්දුවට පහරදීම වෙත යොමු කිරීමට. මේ ක්‍රමයෙන් දක්ෂතා වර්ධනය සිඳුවෙනවා“ කල්පගේ මහතා සඳහන් කළේය.
“මේ තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට විශාල වගකීමක් ඇති වෙනවා. මේ දරුවන් ඉදිරියට ගැනීමට වෙනම සැලසුමක් අප සතුව තිබෙනවා. කෑම බීම, වේගය, පුහුණුව වෙන් වෙන් වශයෙන් කරන හැටි මේ බිග්මැච් වලින් තේරී එන ළමයින්ට අප ලබා දෙනවා. මෙයින් හොද ප්‍රතිඵල ඉදිරියේදී ලබාගත හැකියි“ කල්පගේ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චිංතක එදිරිමාන්න යන මහත්වරු පැවැසූවේ පාසල් ක්‍රිකට් තුන්දින තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණය තුලින් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි ව්‍යුහයට යම් බලපෑමක් ඇති ඇතිවීම සතුටට කරුණක් බවයි.
“මේ තීරණයෙන් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට යහපතක් වෙනවා. මේ 19න් පහළ දරුවන් එළියට ආවාම අපි 21න් පහළ තරගාවලියකට යොමු කරනවා. එයින් පසු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියකට ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වගේ ක්‍රමවේදයක් සකස්කොට ඇත්තේ තරුණ ක්‍රීඩකයින් ඉදිරියට ගන්නයි“ එදිරිමාන්න මහතා පැහැදිලි කළේය.
පාසල් මහ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මූල්‍ය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින පාසල් නාම ලේඛණය මෙසේය.
සාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස, ත්‍රිත්ව විදුහල – මහනුවර, ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව, ඩී.එස්. සේනානායක විදුහල – කොළඹ, රාජකීය විදුහල – කොළඹ, සාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට, වේල්ස් කුමර විදුහල – මොරටුව, සාන්ත ශර්වේසස් විදුහල – මාතර, මහානාම විදුහල – කොළඹ, රිච්මන්ඩ් විදුහල – ගාල්ල, ගුරුකල විදුහල – කැලනිය, නාලන්දා විදුහල – කොළඹ, මලියදේව විදුහල – කුරුණෑගල, සාන්ත පීතර විදුදුහල – බම්බලපිටිය, සාන්ත ජෝෂප් විදුහල – මරදාන
සාන්ත තෝමස් විදුහල – මාතර, මහින්ද විදුහල – ගාල්ල, ආනන්ද විදුහල – කොළඹ, සාන්ත ආනා විදුහල – කුරුණෑගල, මොරටු මහ විදුහල, තර්ස්ටන් විදුහල – කොළඹ, ධර්මරාජ විදුහල – මහනුවර, සාන්ත සෙබස්තියන් මැදි මහ විදුහල – කටුනේරිය, දේවපතිරාජ විදුහල – රත්ගම, ශ්‍රී සුමංගල විදුහල – පානදුර, ඉසිපතන විදුහල – කොළඹ, ශ්‍රී ධර්මාලෝක විදුහල – කැලණිය, සාන්ත පීතර විදුහල – මීගමුව, ධර්මපාල විදුහල – පන්නිපිටිය, සාන්ත ජෝන් විදුහල – යාපනය, රාහුල විදුහල – මාතර, කිංග්ස්වුඩ් විදුහල – මහනුවර, පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ, කෑගලු විදුහල – කෑගල්ල, ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල – කෝට්ටේ, අනුරාධපුර මැදි මහ විදුහල, යාපනය මැදි මහ විදුහල, සාන්ත මරියා විදුහල – කෑගල්ල
සාන්ත තෝමස් විදුහල – කෝට්ටේ, රාජකීය මැදි මහ විදුහල – පොලොන්නරුව, ශ්‍රී රාහුල විදුහල – කටුගස්තොට, ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල – කුරුණෑගල, මලියදේව විදුහල – කුරුණෑගල, කුමර විදුහල – රත්නපුර, ශ්‍රී සුමගංල විදුහල – මහනුවර, වයඹ රාජකීය විදුහල – කුරුණෑගල, ඉබ්බාගමුව මැදි මහ විදුහල, ශාන්ත ඇලෝසියස් විදුහල – රත්නපුර, සාන්ත පැට්‍රික් විදුහල – යාපනය, මහින්ද රාජපක්ෂ විදුහල – හෝමාගම, වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල. යාපනය විදුහල – වඩ්ඩුකොඩායි, ආරක්ෂක සේවා විදුහල – කොළඹ, ඩී. එස්. සේනානායක විදුහල – මීරිගම, ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල – නුවරඑළිය, ගාමිණී ජාතික පාසල – නුවරඑළිය.