ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන බ්ලුම්ෆීල්ඩ් සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන අවසන් මහ තරගයේදී දෙවැනි දිනය වූ අද (06 දා) බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුුවෙන් ලකුණු 508 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට සමත්වූවේය.
මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ප්‍රථම දින (05) ශතකයක් රැස් කළ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත අද තරගය නිමවීමට ස්වල්ප වේලාවකට පෙර දැවී යන විට ලකුණු 237ක් රැස් කළේ පන්දු 493ක දී හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමගය.
බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 508ක් රැස් කිරීමට කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් සියල්ලම දායක වු අතර ඉන් කැපී පෙනුණු රොන් චන්ද්‍රගුප්ත ලකුණු 237ක් ද අසිත වන්නිනායක ලකුණු 96ක් ද ළහිරු මධුශංක ලකුණු 55ක් ද හසිත බෝයගොඩ ලකුණු 52ක් ද නායක නිපුන් කරුණානායක ලකුණු 37ක් ද රැස් කළහ.
30 හැවිරිදි රොන් චන්ද්‍රගුප්ත රැස් කළ ද්විත්ව ශතකය (237) ඔහු පළමු ශ්‍රේණියේ තරගයක ලත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 157කි. රොන් චන්ද්‍රගුප්ත මීට පෙර පළමු ශ්‍රේණියේ තරගයන් හි ශතක දහයක් සහ අර්ධ ශතක 22ක් ලබා සිටී.
ප්‍රථම දිනයේ (05) ලත් සාර්ථකත්වය තවදුරටත් රඳවා ගනිමින් බ්ලුම්ෆීල්ඩ් දෙවන කඩුල්ලේ පිතිකරුවන් දෙදෙනා රොන් චන්ද්‍රගුප්ත සහ අසිත වන්නිනායක අද (06) ප්‍රථම පැයේ දී ද සුපුරුදු දක්ෂතා දක්වමින් මුළු ලකුණු සංඛ්‍යාව කඩුල්ලකට ලකුණු 319 දක්වා ඉහළ නංවුයේ දෙවන කඩුල්ලේ සබඳතාවය ද 200 දක්වා ඉහළ නංවමිනි.
බ්ලුම්ෆීල්ඩ් කඩුල්ලකට ලකුණු 300 උදෑසන 11.10 වන විට වාර්තා කළේ පන්දුවාර 102.1කදීය. මුළු ලකුණු 319දී පෞද්ගලික ලකුණු 96ක් රැස් කරමින් ශතකය අභියස සිටි අසිත වන්නිනායක ඉතාමත් අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවීමට හසුව දැවී ගියේ මුළු ලකුණු 319ක් සඳහන් වද්දීය. අසිත වන්නිනායක ශතකය ලැබීමට ලකුණු හතරක් තිබිය දී දැවී යන විට පන්දු 225කට මුහුණ දී හතරේ පහර 13ක් සමග ලකුණු 96ක් රැස් කර සිටියේය.
මෙදින දිවා ආහාරයට මිනිත්තු 25ක් පමණක් ඉතිරිව තිබිය දී අසිත වන්නිනායකත් පසුව පැමිණි අංක හතර පිතිකරු කසුන් අබේරත්නත් (02) දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු හතරක් පමණක් එක්වද්දීය. මුළු ලකුණු 323 දී දඟපන්දු යවන අෂේන් ඩැනියල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කසුන් දැවී යන විට දිවා ආහාරයට තවත් ඉතිරිව තිබුණේ මිනිත්තු හයක කාලයකි.
දිවා ආහාරය වන විට බ්ලුම්ෆීල්ඩ් කඩුලු තුනකට ලකුණු 324ක් ලබා සිටි අතර රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු 167ක් රැස් කර සිටියේ පන්දු 346කට මුහුණ දී හතරේ පහර 14ක් සමගිනි.
දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම පිතිකරුවකු පමණක් දැවී රැස් කළේ ලකුණු 94කි. මේ කාලය තුළ දී රොන් චන්ද්‍රගුප්ත පන්දු 394ක දී හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමග සිය ද්විත්ව ශතකය (200) වාර්තා කළේය.
සවස තේ පානයට පන්දුවාර හතරක් පමණක් ඉතිරිව තිබිය දී අංක හතර පිතිකරු නායක නිපුන් කරුණානායක ද අෂේන් ඩැනියල්ගේ පන්දුවකට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ලකුණු 37කටය. නිපුන් පන්දු 86ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් ද එල්ල කළේය.
සවස තේ පානය වන විට බ්ලුම්ෆීල්ඩ් කඩුලු 4ක් දැවී ලකුණු 418ක් රැස් කර පසුවුයේ ස්ථාවර තත්ත්වයකය. තේ පානය වන විට රොන් චන්ද්‍රගුප්ත පන්දු 423ක දී හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 209ක් ද අංක හය පිතිකරු ළහිරු මධුශංක පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියහ.
මඳ ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලුණු ළහිරු මධුශංක තරගය නිම වීමට මිනිත්තු හතළිස් පහක් තිබිය දී සිය අර්ධ ශතකය පන්දු 80 කදී වාර්තා කළේය.
ළහිරු මධුශංක ලකුණු 492කට කඩුලු පහක්ව තිබිය දී අසේල් සිගේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ලකුණු 55කටය. (පන්දු 91යි හතරේ හයයි හයේ පහරයි) මධුශංක සහ රොන් චන්ද්‍රගුප්ත පස් වන කඩුල්ලට ලකුණු 96ක් රැස් කළේ පන්දුවාර 28.5කදීය.
මේ අවසාන මහා තරගයේ දින දෙකක් පුරා කාගේත් කතා බවට ලක් වු බ්ලුම්ෆීල්ඩ් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත මුළු ලකුණු 496 දී හය වන කඩුල්ල ලෙස දැවී ගියේ ළහිරු කුමාරගේ වේගපන්දුවකට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට උඩ පන්දුවක් රැක ගැනීමෙන් මුළු ලකුණු 500 සීමාව යාමට තවත් ලකුණු හතරක් පමණක් අඩුව තිබියදීය.
කැපවීම කාලය සහ ශ්‍රමය උපරිමයෙන් වැය කළ රොන් චන්ද්‍රගුප්ත පන්දු 493කට මුහුණ දී හතරේ පහර 20ක් හයේ පහරක් සමග ලකුණු 237ක් ලබා සිට වැඩිම පළමු ශ්‍රේණියේ පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලැබීය.
ජෙෆ්රී වැන්ඩසේ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ලකුණු 500 සීමාව ඉක්ම වුයේ අසේල් සිගේරාගේ 33වන පන්දුවාරයේ දෙවන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි.
අගපෙළ පිතිකරුවන් රවිඳු ප්‍රනාන්දු (04) ජෙෆ්රි වැන්ඩසේ (09) ඉසිත විජේසුන්දර (00) සහන් නානායක්කාර නොදැවී (01) සහ දුලාජ් සමුදිත (00) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙන් බ්ලුම්ෆීල්ඩ් ඉනිම ලකුණු 508ක දී (පන්දුවාර 174යි) නිමාවට පත් විය.
එන්.සී.සී. පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු වේගපන්දු යවන ළහිරු කුමාර ලකුණු 87කට කඩුලු හයක් ද අෂේන් ඩැනියල් ලකුණු 93කට කඩුලු දෙකක් ද දවාලුහ.
ලකුණු පුවරුව
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 508යි (පන්දුවාර 174යි) – රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, ළහිරු මධුශංක 55, හසිත බෝයගොඩ 52, නිපුන් කරුණානායක 37, ළහිරු කුමාර 87/6, අෂේන් ඩැනියල් 93/2, අසේල් සිගේරා 117/1)