ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු සහ අකිල ධනංජය සමත්වූහ.
මොවුන් අතරින් කැන්ඩි කණ්ඩායමේ කමිල් මිශාර මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකය අද දිනයේ වාර්තා කිරීමට සමත්වූවේය. පන්දු 217 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 172 ක් වර්තා කිරීමට සමත්වූවේය. සමාරම්භක සතියේදී මිශාර ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 ක් ලබාගනිමින් තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියට පැමිණියේය. ඉන් සතියක කාලයක් ඉක්ම යෑමට මත්තෙන් එම වාර්තාව අලුත් කිරීමට මිශාර සමත්වීමද කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.
සිය පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය ලෙසින් සනිටුහන් වුණු මිශාරගේ මෙම ශතකයත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ජනිෂ්ක පෙරේරා සමග එක් කරන ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 107 කි. මිශාර අනගි සහායක් ලබා දුන් ජනිෂක ලකුණු 48 ක් රැස් කළේය.
ඊට අමතරව කැන්ඩි ඉන්මේ සාර්ථකම ලකුණු සම්බන්ධතාව වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මිශාර සහ නායක සහන් ආරච්චි දෙදෙනා එක්ව පන්දු 212 කදී රැස් කරන ලද ලකුණු 128 ක සම්බන්ධතාවයි. ඊට සහන් ආරච්චිගේ දායකත්වය පන්දු 125 කදී ලකුනු 68 කි. දිනය අවසන් වන විට සොහාන් ද ලිවේරා ලකුණු 19 ක් සහ චමිදු වික්‍රමසිහ ලකුණු 15 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.
මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඇරැඹි දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල කණ්ඩායම සියලු දෙනාම ලකුනු 267 කදී දවා ගැනීමට දඹුලු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුලු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටියේය.
ඕෂද ප්‍රනාන්දුගේ ශතකයත් දිනේෂ් චන්දිමාල්ගේ අර්ධ ශතකයත් නිසා ගාලු කණ්ඩායම වරෙක එක් කඩුල්ලක් දැවී ලකුණු 171 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසු වුවත් දෙවැනි කාර්තුවේ සිට යළිත් තරගයට අවතීර්ණ වුණු දඹුලු පන්දු යවන්නෝ සත්කාරක ගාලු ඉනිම කඩා බිඳ දැමූහ. මෙහිදී ගාලු ඉනිමේ අවසන් කඩුලු 6 ම ලකුණු 60 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් ගාලු ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 83 ක් ඇතුළතදී දවා ගැනීමට සමත්වූවේය. අකිලගේ පන්දු යැවීම සටහන් වූයේ නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ ඉනිමක පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වශයෙනි. මීට පෙර 2024 වසරේදී ගාලු කණ්ඩායමට එරෙහිව කොළඹ කණ්ඩායමේ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර ලකුණු 45 කට කඩුලු 6 ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේය. අකිලට අමතරව වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත්තේය .
ගාලු පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු ඔෂද ප්‍රනාන්දු පන්දු 163 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 100 ක් ලබා ගත්තේය. මෙය මෙවර තරගවාරයේදී ඕෂධ රැස් කරන ලද පළමු ශතකය ලෙසින් සනිටුහන් විය. අද දිනයේදී ඔහු රැස් කරන ලද ශතකයත් සමඟ නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුනු රැස් කරන ලද පිතිකරුවන් අතර යලිත් පෙරමුණ ගැනීමට ඕෂදට හැකියාව ලැබිණ. මීට පෙර තරග 13 කදී ලකුණු 1223 ක් රැස් කරමින් ජැෆ්නා කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ එහි පෙරමුණ ගෙන සිටියේය. මෙම ශතක සමඟින් ඕෂද තරග 13 කදී මුලු ලකුනු 1321 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.52 ක් රඳවා ගනිමිනි.
ඕෂද අද දිනයේදී රැස් කරන ලද්දේ සිය නැෂනල් සුපර් ලීග් දිවියේ සිව්වැනි ශතකය වීමද කැපී පෙනෙයි. ඒ අනුව ඔහු මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම ශතක සංඛ්‍යාවක් ලද පිතිකරුවන් දෙදෙනා වූ අහන් වික්‍රමසිංහ සහ පසිඳු සූරියබණ්ඩාර සමග සමතැන් ගැනීමටද අද සමත්වූවේය. මොවුන් තිදෙනාම මේ වන විට ශතක 4 බැගින් වාර්තා කරගෙන සිටිති.
නිපුන් ධනංජය ලකුණු 14 කදී දැවී යෑමෙන් පසු ඕෂධ ට එක් වුණු දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු සංඛ්‍යාව පන්දු 214 කදී ලකුණු 154 කි. ඒ වෙනුවෙන් චන්දිමාල් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 73 ක් විය.
හෙට (21 වැනිදා) මෙම තරග දෙකේම දෙවැනි දිනයයි.
කැන්ඩි සහ කොළඹ අතර තරගය හම්බන්තොටදී
කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 5 ට ලකුණු 382 යි – (කමිල් මිශාර 172, ජනිශ්ක පෙරේරා 48, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද සිල්වේ 19, දුෂාන් හේමන්ත 62/2)
ගාල්ල සහ දඹුල්ල අතර තරගය ගාල්ලේදී
ගාල්ල පළමු ඉනිම පන්දුවාර 74 කදී සියලු දෙනා දැවී ලකුනු 267 යි – (ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)
දඹුල්ල පන්දුවාර 9 කදී කිසිවකු නොදැවී ලකුණු 38 යි