සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් අද (09 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්විය. මෙම තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ජය ගත්තද එළැඹෙන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් සමත්ව සිටිති.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලබා දුන් ලකුණු 316 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.5 කදි සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 239 ක් පමණි. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානු කාන්තා එක්දින තරග ඉතිහාසයේ පස්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යළිත් ලකුණු අතරට පිවිසි නායිකා චමරි අතපත්තු පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 57 ක් රැස් කිරීමට සමත්වූවාය. ඇයට අමතරව ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී පන්දු 32 කින් නොදැවී ලකුණු 43 ක් ලබා සිටියාය. එම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්ව තිබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්න පන්දු 56 කින් ලකුණු 52 ක් රැස් කළේ ලකුණු 300 කට එහා ඉලක්කයක් හඹා යෑම වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් එක් කරමිනි. මෙහිදී හසිනි පෙරේරා ලකුණු 30 ක් ස විශ්මි ලකුණු 24 ක් ද ලබාගත්හ. අවසන් තරග දෙකේදී අර්ධ ශතක රැස් කිරීමට සමත්වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 38 කදී ලකුණු 33 ක් ලබා ගත්තාය.
ශ්‍රී ලංකා පිලට වැඩිම හානියක් සිදුකළ විලෝයි ට්‍රියන්, අද දිනයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්නගේ කඩුලු දවා ගනිමින් තම කඩුලු දඩයම ඇරඹී ට්‍රියන්, නැවතත් 42 වැනි පන්දුවාරයේදී දෙව්මි විහංගා, සුගන්ධිකා කුමාරි සහ මල්කි මදරාගේ කඩුලු දවා ගනිමින් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණර කරගත්තාය. මෙය කාන්තා එක්දින තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබා ගන්නා ලද 13 වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සනිටුහන් විය.
නවක ක්‍රීඩිකා දෙව්මි විහංගා විසින් දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු 5 ම දවා ගැනීමට සමත්වීම නිසා ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 85 කට ඩුලු 5 ක් ලෙස අසරණ තත්ත්වයෙනි. එහෙත් මැද පෙළින් පිටියට පිවිසි ඇනරි ඩර්ක්සන් හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් පන්දු 84 කදී ලකුණු 104 ක් ලබා ගැනීමටත්, ක්ලෝ ට්‍රියෝන් පන්දු 51 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සඟින් ලකුණු 74 ක් ලබා ගැනීමට සමත්වීමත් නිසා ඔවුනට ලකුණු 300 ඔබ්බට යෑමට අවස්ථාව උදාවිය.
මෙම ශතකය දකුණු අප්‍රිකානු පිතිකාරිණියක් රැස් කරන ලද වේගවත්ම ශතකය ලෙසින් සනිටුහන් විය. ඩර්ක්සන් සහ ක්ලෝ ට්‍රියෝන් අතර 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 88 කදී ලකුණු 112 ක් විය.
අද දිනයේදී පන්දුවාර 9 ක් යැවූ දෙව්මි විහංගා තම පන්දු යැවීම ලකුණු 43 කට කඩුලු 5 ක් ලෙස සටහන් කරගත්තාය. විහංගාගේ මෙම දක්ෂතාව සටහන් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5 ක් දවා ගත් ළාබාලතම පන්දු යවන්නිය ලෙසිනි. දෙව්මි මෙම දක්ෂතාව වාර්තා කරන විට ඇයගේ වයස අවුරුදු 19 යි දින 280 ක් ලෙස සටහන්ව තිබිණ. මීට පෙර එම කඩුලු 5 ක් දවා ගත් ළාබාළතම පන්දු යවන්නිය ලෙසින් වාර්තාවට හිමිකම් කියන ලද්දේ සඳමාලි දොලවත්ත වන අතර ඇය විසින් 2003 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 දවා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 20 කුත් දින 40 ක් ලෙස සටහන්ව තිබිණ.
අර්ධ ශතකයක් සහ කඩුලු ත්‍රිත්වයක් ද සමගින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත් ක්ලෝ ටි යෝන් දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 315 යි – (ලෝරා වොල්වාඩ් 33, ටස්මින් බ්‍රිට්ස් 38, නන්දුමිසෝ ශැන්ගසේ 18, ඇනරි ඩර්ක්සන් 104, ක්ලෝ ටි යෝන් 74, නඩිනි ද ක්ලාර්ක් 32, දෙව්මි විහංගා 43/5, චමරි අතපත්තු 70/2)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 42.5 කදී සියලු දෙනා දැවී ලකුණු 239 යි – (හසිනි පෙරේරා 30, විශ්මි ගුණරත්න 24, හර්ෂිතා සමරවික්‍රම 33, චමරි අතපත්තු 52, නිලක්ෂි ද සිල්වා 14, අනුෂ්කා සංජීවනී 43*, දෙව්මි විහංගා 16, ක්ලෝ ටි යෝන් 34/5 අයබොන්ගා ඛාකා 30/2)