සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුනු 72 ක් ලබා සිටියේය.
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දිවියට සමුදෙන ටෙස්ට් තරගය බවට පත්වූ මෙම තරගයේ පස්වැනි දිනයේදී ගාල්ල ක්‍රීඩාංගණයට වර්ෂාව හරස්වීම නිසා තරගය අවස්ථා කීපයකදීම නවතා දැමීමට විනිසුරුවන්ට සිදුවිය. එබැවින් අද දිනයේදී යැවීමට නියමිත පන්දුවාර 90 ම යැවීමට නොහැකිවිය.
කෙසේ වෙතත් පළමු ඉනිමේ ලද ලකුණු 10 වාසියත සමග දෙවැනි ඉනිමේදී කඩුලු 6 කට ලකුනු 285 ක් ලබා සිටියදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 296 ක ඉලක්කයක් තැබීමට බංග්ලාදේශ කණ්ඩායම පියවර ගත්තේය. ශ්‍රී ලංකාවට එම ඉලක්කය සපුරා ගැනීමට සිදුවූයේ පන්දුවාර 37 ක් ඇතුළතදී වන නමුත් එය ටෙස්ට් තරගයක අසීරු කාර්යයක් බව වටහා ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ජය පැරදමෙන් තොර තරගයකට සුදුසු අන්දමින් ක්‍රීඩා කළේය.
වසර 16 ක ටෙස්ට් තරග දිවියේ අවසන් ඉනිමට ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට අද රැස් කර ගත හැකි වූයේ ලකුණු 08 ක් පමණි. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් උඩ පන්දුවක් රැක ගැනීම නිසා මැතිව්ස්ගේ ඉනිම නිමාවට පත්විය. මැතිව්ස්ගේ සමුගැනීම දැක බලා ගැනීම සඳහා ගාල්ල ක්‍රීඩංගණය වෙත පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොලසන් මධ්‍ය යේ මැතිව්ස් ක්‍රීඩා ගාරය වෙත පියමං කළේය.
එක් ලකුණක් ඇතුළත මැතිව්ස් සහ චන්දිමාල් දෙදෙනාම දැවී යෑම නිසා ශ්‍රී ලංකාව වෙත තරමක පීඩනයක් එල්ල විය. කෙසේ වෙතත් දිනය අවසන් වීමට මත්තෙන් ක්‍රීඩා කිරීමට නියමිත ඉතිරි පන්දුවාර 13 දී ආරක්ෂා කාරීව පන්දුවට පහර දුන් ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් නියමිත වේලාවට පෙර තරගය නතර කර දමන විට ලකුණු 12 බැගින් ලබා සිටියහ. තරගය අවසන් වීමට පන්දුවාර 5 ක් තිබියදී ධනංජය ද සිල්වා දැවී ගිය පිතිකරුවකු යැයි කරන ලද ඉල්ලීම තෙවැනි විනිසුරුවරයා දක්වා ඇදී ගියද ප්‍රධාන විනිසුරුගේ තීරණයට ඉන් බලපෑමක් නොවීය. ඒ සමඟම තරගය නතර කර දැමීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශැන්ටෝ කැමැත්ත ලබා දුන්නේය.
අද දිනයේදී කැපී පෙනෙනම සිදුවීම වූයේ බංග්ලාදේශ නායකයා දෙවැනි ඉනිමේදීත් ශතකයක් වාර්තා කිරීමට සමත්වීමයි. ප.ව. 2.10 ට තරගය ආරම්භ කරන විට ලකුණු 89 ක් ලබා සිටි නජ්මුල් සිය ශතකය වෙනුවෙන් ලබාගත යුතු ඉතිරි ලකුණු 11 ලබා ගැනීම සඳහා මිනිත්තු 33 ක කාලයක් වැය කළේය. මිනිත්තු 260 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ශැන්ටෝ තම නොබිඳුණු ලකුණු 125 ක ඉනිම සදහා පන්දු 190 කට මුහුණ දී තිබුණේය.
ශතකය ලබා ගැනීමේදී මන්දගාමී පිතිහරඹයක නියැළුනත් ලබා ගැනීමෙන් අනතුරුව හයේ පහර 3 ක් එල්ල කිරීමට බංග්ලාදේශ නායකයා නිර්භීත විය. අද දිනයේදී ලද ශතකයත් සමග ලෝක ටෙස්ට් ඉතිහාසයේ ඉනිම දෙකේදීම ශතක යුගලයක් තරග දෙකකදී ලබාගත් පිතිකරුවන් අතර ශොන්ටෝ 15 වැනියා බවට පත්විය. එපමණක් නොව එකම තරගයකදී ඉනිම දෙකේදීම ශතක ලබාගත් දෙවැනි බංග්ලාදේශ ජාතිකයා බවටද ඔහු පත්විය.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 153.4කදී සියලු දෙනා දැවී ලකුණු 495 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, ලිටන් දාස් 90, ජකර් අලී 08, නයීම් හසන් 11, ටයිජුල් ඉස්ලාම් 06, හසන් මහමුදු 07*, නහිඩ් රානා 00, තරිඳු රත්නායක 193/3, අසිත ප්‍රනාන්දු 86/4, මිලාන් රත්නායක 39/3, ප්‍රභාත් ජයසූරිය 154/0, ධනංජය ද සිල්වා 7/0)
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දු වාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 465 යි – පැතුම් නිශ්ශංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, ධනංජය ද සිල්වා 19, කුසල් මෙන්ඩිස් 05, මිලාන් රත්නායක 39, තරිඳු රත්නායක 00, ප්‍රභාත් ජයසූ4ිය 11*, අසිත ප්‍රනාන්දු 04, හසන් මසූඩ් 74/3, තයිජුල් ඉස්ලාම් 156/1, නයීම් හසන් 121/5, මොමිනුල් හක් 28/1)
බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 285 යි – (ශද්මන් ඉස්ලාම් 76, අනමුල් හක් 04, මොමිනුල් හක් 14, නජ්මුල් හොසේන් 125*, මුෂ්ෆිකර් රහීම් 49, ලිටන් දාස් 03, ජේකර් අලී 02, නයීම් හසන් 07, තරිඳු රත්නායක 102/3, ප්‍රභාත් ජයසූරිය 92/1, මිලාන් රත්නායක 26/1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 32 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 72 යි – (පැතුම් නිස්සංක 24, ළහිරු උදාර 09, දිනේෂ් චන්දිමාල් 06, ඇන්ජලෝ මැතිව්ස් 08, කමිඳු මෙන්ඩිස් 12*, ධනංජය ද සිල්වා 12*, තයිජුල් ඉස්ලාම් 23/3, නයීම් හසන් 29/1)