slc
logo
Home   |    News
ජූනි 26, 2025
පැතුම් සහ චන්දිමාල් ශ්‍රී ලංකාව ඔසවා තබති

sinhala editor

පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 194 ක ලකුණු සම්බන්ධතාව පෙරටු කොට ගෙන කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට පළමු ඉනිමේදී ලකුණු 43 කින් පෙරමුණ ගැනීමට සමත්වූහ.

පළමු දිනයේදී බංග්ලාදේශ පිතිකරුවන් අසීරුවෙන් පන්දුවට පහර දුන්නද දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ රජ දහනක් බවට පත් කර ගත් පැතුම් සහ චන්දිමාල් දෙදෙනා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ආසන්නයට හෙවත් කඩුලු 2 කට ලකුණු 290 ක් දක්වා ඉහළට රැගෙන යෑමට අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කර තිබුණහ.

මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කර දමනා විට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනාම ඉනිම ක්‍රීිඩා කළ පැතුම් නිස්සංක ලකුණු 146 ක්ද සැඳෑ පිතිකරුගේ වගකීම භාරගෙන පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 05 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

තරගය නිමා වීමට පන්දුවාර කීපයක් ඉතිරිව තිබියදී චන්දිමාල් එල්ල කරන ලද රිවර් ස්වීප් පහර වැරදී නොයන්නට  චන්දිමාල්ට තම 17 වැනි ටෙස්ට් ශතකය සපුරා ගැනීමට හොඳම අවස්ථාවක් තිබුණි. සිය 90 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින දකුණත් පිතිකරුවා දැවී යන විට පන්දු 153 කට මුහුණ දෙමින් ලකුණු 93 ක් රැස් කරගෙන සිටියේය. දැවී යෑමට මත්තෙන් මනරම් ඩ්‍රයිව් පහර, පුල් පහර සහ ඇතැම් විට ලේට් කට් පහර වලින් පන්දුව හතරේ සීමාව වෙත ගලා යෑමට සලස්වමින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය.

චන්දිමාල් පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඔහුව දවා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයෝ නොයෙකතු උගුල් ඇට වූ නමුත් තමන් සතු පරිණත භාවය චන්දිමාල් මැනවින් ප්‍රයෝජනයට ගත්තේය.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුනු 187 ක් ලද පැතුම් නිස්සංක අද දිනයේදී රැස් කරන ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ සිව්වැනි ශතකය විය. නහීද් රානා විසින් එවන ලද පන්දුවට බැක් ෆුට් ඩ්‍රයිවර් පහරක් එල්ල කරමින් පන්දුව හතරේ සීමාවට යැවූ පැතුම්, තම සිව්වැනි ශතකයේ සතුට පිටිය මැදදී සමරන ලද්දේ තම දෑතට සිය හිස් ආවරණය සහ පිත්ත රැගෙන දෙපසට විහිදවමිනි. දුර්වල පන්දු දුටු විගස ඒවාට පහර එල්ල කළ පැතුම් දිනය අවසන් වන විට තම ඉනිම හතරේ පහර 18 කින් සරසා ගෙන සිටියේ පළමු තරගයේදී අහිමි වූ ද්විත්ව ශතකය මෙම තරගයේදී ලබා ගන්නා බවට වූ ඉඟි පහළ කරමිනි. කෙසේ වෙතත් තම ඉනිම ද්විත්ව ශතකයින් හමාර කරනවාද එසේත් නැතහොත් ත්‍රිත්ව ශතකයක් දක්වා පරිවර්තනය කරගැනීමට මෙම තරගයේදී පැතුම්ට ඕනෑවටත් වඩා කාලය ඉතිරිව තිබේ.

චන්දිමාල් හැරුණු කොට අද දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවී ගිය එකම පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු ළහිරු උදාර වන අතර ඔහු දිවා ආහාරයෙන් ටික වේලාවක් පසු ලකුණු 40 කට දැවී ගියේය. දැවී යෑමට මත්තෙන් ඔහු පැතුම් සමග  පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය.

දිනය ආරම්භයේදී කඩුලු 2ක් අතැතිව සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 247 කට සීමා කිරීමට සමත්වූ අතර දැවී ගිය එම කඩුලු දෙක සොනාල් දිනූෂ සහ අසිත ප්‍රනාන්දුගේ නම් ඉදිරියෙන් සටහන් විය. බංග්ලාදේශ ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම දිනූෂ සටහන් කරගෙන සිටියේ පන්දුවාර 9.23 කදී නිලකුණු පන්දු වාර 3 ක් ද සමඟින් ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු කුණු 51 කට කඩුලු 3 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවාලූවේය.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

බංග්ලාදේශය පළමු ඉනිම පන්දුවාර 79.3 කදී සියලු දෙනා දැවී ලකුණු 247 යි – (ශද්මන් ඉස්ලාම් 46, අනමුල් හක් 00, මොමිනුල් හක් 21, නජ්මුල් හොසනේ ෂොන්ටෝ 08, මුෂ්ෆිකර් රහීම් 35, ලිටන් දාස් 34, මෙහෙදි හසන් මිරාස් 31, නයීම් හසන් 25, තයිජුල් ඉස්ලාම් 33, එබාදොත් හොසේන් 08, නහීද් රානා 00*, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 72/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 78 කදී කඩුලු 2 කට ලකුණු 290 යි – (පැතුම් නිස්සංක 1468, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, ප්‍රභාත් ජයසූරිය 05*, තයිජුල් ඉස්ලාම් 90/1, නයීම් හසන් 45/1) 

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee