slc
logo
Home   |    News
ජූනි 10, 2025
හෝම් ලෑන්ඩ් ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී චමරිට සම්මාන 6 ක් – වසරේ දක්ෂතම ක්‍රීඩකයා කමිඳු

sinhala editor

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘හෝම් ලෑන්ඩ්‘ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කාන්තා අංශය යටතේ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇතුළු සම්මාන 6 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වද්දී පිරිමිි අංශය යටතේ වැඩිම අවධානයක් යොමුව තිබූ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් දිනාගනු ලැබීය. ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා සම්මානයෙන්ද කමිඳු මෙන්ඩිස් පිදුම් ලැබුවේය.

උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූ චමරි අතපත්තු, දිනා ගන්නා ලද සම්මාන අතරට වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට අමතරව වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව මෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර තරග අංශය යටතේ වූ වසරේ දක්ෂතම පිතිකාරිණිය, වසරේ දක්ෂතම පන්දු යවන්නිය මෙන්ම වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව යන  සම්මාන ත්‍රිත්වයම අත්පත් කර ගැනීමට සමත්වූවාය.

ගෙවී ගිය 2024 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැප කිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කිරීම වෙනුවෙන් පිරිනැමුණු සමස්ථ සම්මාන සංඛ්‍යාව 46 ක් විය. එහිදි ජාත්‍යන්තර තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙක්ද දේශීය තරග අංශය යටතේ පිරිනමන ලද සම්මාන 20 ක්ද ඇතුළත්වය.

12 වැනි වරටත් පවත්වන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රධානයේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් තරු රතු පලස මතින් පැමිණ අතර ත්‍යාග ප්‍රධානය දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයමින් ආරම්භ විය. මෙහිදී පිරිමි අංශය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගන්නා ලද්දේ වනිඳු හසරංග වන අතර ඔහු වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා, වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නා මෙන්ම වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය.

ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියද, වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට් නායක ධනංජය ද සිල්වාද සම්මාන ලබාගනිද්දී වසරේ දක්ෂතම එක්දින පිතිකරුවා ලෙස පැතුම් නිස්සංකද වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් එක්දින නායක චරිත් අසලංකද සම්මාන දිනාගත්හ. මේ අතර වසරේ නැගීඑන ක්‍රීඩකයා සම්මානය තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ විසින් දිනාගත්තේය.

ජාත්‍යන්තර පිටියේ කාන්තා අංශය යටතේ පිරිනැමුණු සම්මාන 7 න් 6 ක්ම චමරි දිනා ගනිද්දී වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නියගේ වශයෙන් කවීෂා දිල්හාරි සම්මාන දිනාගත්තේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයෙන් වැඩි කාලයක් ඒ සඳහා කැප කළ පුද්ගලයින් සිව් දෙනෙකු වූ රංජිත් ප්‍රනාන්දු, චන්ද්‍ර ශාෆ්ටර්, ජානක පතිරණ සහ ස්ටැන්ලි ජයසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පිරිනැමුණු ජීවිතයටම එක් වරක් පිදෙන සම්මාන ප්‍රධානය බොහෝ දෙනාගේ සිත්ගත් අවස්ථාවක් බවට පත්විය. මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය මාධ්‍ය කටයුතුවල නිරත වන මාධ්‍ය වේදීන් දෙදෙනකු වූ දිනමිණ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ප්‍රින්ස් ගුණසේකර සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා මෙන්ම ක්‍රීඩා කර්තෘවරයා ලෙසින් කටයුතු කරන ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතාවද මෙහිදී ඇගැයීමට ලක්වීම කැපී පෙනිණ.

මේ අතර දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීම වෙනුවෙන් සිදුකරන ලද ත්‍යාග ප්‍රධානයේදී අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයට පාත්‍ර වුණු පවන්ත වීරසිංහ, අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ දිලුම් සුදීර, එම දක්ෂතම පිතිකරුවා වූ සහන් කෝසල මෙන්ම එම තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනාගත් රවිඳු ප්‍රනාන්දු ශ්‍රි ලංකා නැගීඑන කණ්ඩායම සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දේශීයේ පැවැත්වෙන තරගාවලියට සහභාගිවීම සඳහා පිටත්ව ගිය බැවින් මෙම වටිනා අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව නොලදහ. කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් එම සම්මාන පිළිවෙළින් වනුජ සහන්, පසිඳු සූරියබණ්ඩාර, අශාන් ප්‍රියන්ජන් සහ නනිපුන් කරුණානායක විසින් ලබා ගන්නා ලදී.

මෙම සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගිවූ අතර ඔහුට අමතරව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජන්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුද සහසභාගිව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රධානය සඳහා හිටපු ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනකු වන තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් වන සනත් ජයසූරිය, ජාතික කාන්තා කණ්ඩායමේ රුමේෂ් රත්නායක යන මහත්වරුන්ට අමතරව,  මෙම සම්මාන ප්‍රධානෝත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එක්වුණු හෝම් ලෑන්ඩ් සමාගම් සමූහයේ සභාපති නලීන් හේරත් මහත්ද සහභාගිව සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයින්, වර්තමාන සහ හිටපු ක්‍රිකට් නායකයින් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහක පාර්ශ්වකරුවන්, රාජත්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු මාධ්‍යෙව්දීන්ද මෙම සුවිශේෂි අවස්ථාවට සහභාගිවූහ.

සම්මානයක්‍රීඩකයා
ජාත්‍යන්තර – පිරිමි 
වසරේ නැගීඑන ක්‍රීඩකයාජනිත් ලියනගේ
ටෙස්ට් 
වසරේ දක්ෂතම පිතිකරුකමිඳු මෙන්ඩිස්
වසරේ දක්ෂතම පන්දු යවන්නාප්‍රභාත් ජයසූරිය
වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාධනංජය ද සිල්වා
එක්දින 
වසරේ දක්ෂතම පිතිකරුපැතුම් නිස්සංක
වසරේ දක්ෂතම පන්දු යවන්නාවනිඳු හසරංග
වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාචරිත් අසලංක
විස්සයි-20 
වසරේ දක්ෂතම පිතිකරුකුසල් මෙන්ඩිස්
වසරේ දක්ෂතම පන්දු යවන්නාවනිඳු හසරංග
වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාවනිඳු හසරංග
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාකමිඳු මෙන්ඩිස්
ජාත්‍යන්තර අංශය – කාන්තා 
එක්දින 
වසරේ දක්ෂතම පිතිකාරිණියචමරි අතපත්තු
වසරේ දක්ෂතම පන්දු යවන්නියකවීෂා දිල්හාරි
වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවචමරි අතපත්තු
විස්සයි-20 
වසරේ දක්ෂතම පිතිකාරිණියචමරි අතපත්තු
වසරේ දක්ෂතම පන්දු යවන්නියචමරි අතපත්තු
වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවචමරි අතපත්තු
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවචමරි අතපත්තු
දේශීය තරග අංශය – පිරිමි 
අන්තර්සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය 
දක්ෂතම පන්දු යවන්නාඅකිල ධනංජය
දක්ෂතම  පිතිකරුපවන්ත වීරසිංහ
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාචාමික කරුණාරත්න
ශූරතාවඑන්.සී.සී.
අනුශූරතාවබ්ලූම්ෆීල්ඩ්
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය 
දක්ෂතම පන්දු යවන්නාඩිල්ෂාන් මුණවීර
දක්ෂතම පිතිකරුක්‍රිෂාන් සංජුල
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාතනුක දාබරේ
ශූරතාවඒස් කැපිටල්
අනුශූරතාවසී.සී.සී.
අන්තර් සමාජ ප්‍රධාතම තුන්දින තරගාවලිය 
දක්ෂතම පන්දු යවන්නාදිලුම් සුදීර
දක්ෂතම පිතිකරුසහන් කෝසල
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාරවිඳු ප්‍රනාන්දු
ශූරතාවබ්ලූම්ෆීල්ඩ්
අනුශූරතාවඑන්.සී.සී.
දේශීය තරග අංශය – කාන්තා 
අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත ක්‍රිකට් තරගාවලිය 
දක්ෂතම පන්දු යවන්නියරශ්මි සිල්වා
දක්ෂතම පිතිකාරිණියහර්ෂිතා සමරවික්‍රම
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවනිලක්ෂි ද සිල්වා
ශූරතාවහලාවත මේරියන්ස්
අනුශූරතාවයුද හමුදාව
තරග නිලධාරීන් 
වසරේ ක්‍රිකට් විනිසුරුචාමර ද සොයිසා
වසරේ තරග තීරකප්‍රදීප් ජයප්‍රගාෂ්
විශේෂ සම්මාන 
වසරේ දක්ෂතම මාධ්‍යෙව්දියාප්‍රින්ස් ගුණසේකර
වසරේ දක්ෂතම මාධ්‍යෙව්දියාප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ජීවිත කාලය සඳහා වන සම්මානයරංජිත් ප්‍රනාන්දු මහතා
ජීවිත කාලය සඳහා වන සම්මානයචන්ද්‍ර ශාෆ්ටර් මහතා
ජීවිත කාලය සඳහා වන සම්මානයජානක පතිරණ මහතා
ජීවිත කාලය සඳහා වන සම්මානයස්ටැන්ලි ජයසිංහ මහතා

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee