slc
logo
Home   |    News
ජූලි 4, 2025
එක්දින කණ්ඩායම ඉහළට ගැනීමේදී විශාල අභියෝග එල්ල වුණා – සනත්

sinhala editor

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි දිවා – රාත්‍රී තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 2.30ට ආරම්භ වේ.

පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 77ක පරාජයක් උරුම කළ ශ්‍රී ලංකා පිල 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණ සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 49.2කදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 244ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර් 35. 5කදී ලකුණු 167කට සියලු දෙනා දැවී ගියහ. එක් අවස්ථාවක කඩුල්ලකට ලකුණු 100ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටියද ශ්‍රී ලංකා දඟ පන්දු බළ ඇණිය ඉදිරියේ සියල්ල කනපිට හැරී ගියේය.

චරිත් අසලංකගේ ශතකය, වනිඳු හසරංගගේ කඩුලු 4 හා කමිඳු මෙන්ඩිස්ගේ කඩුලු 3 මෙම තරගයේ ශ්‍රී ලංකා පිලේ විශේෂ දක්ෂතා වූවේය.

හෙට පැවැත්වෙන තරගයේ අවසන් කණ්ඩායම පිළිබඳ තවමත් අවසන් තීරණයක නැතැයි ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. කෙසේ වුවද දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ අවසන් ක්‍රීඩකයින් දොලොස්දෙනාගේ ලැයිස්තුවේ සිටින බව ඒ මහතා පැවැසීය.

“ අවසන් කණ්ඩායම නම් කරන්න කලින් මේ තණතිල්ල බලන්න අවශ්‍යයි. කොහොමත් දුනිත් වෙල්ලාලගේ අවසන් ක්‍රීඩකයින් 12 අතර ඉන්නවා. ඉතින් කණ්ඩායම මොනවගේද කියල කියන්න කලින් ආයේ සැරයක් තණතිල්ල බලලා තීරණයක් ගන්න ඕන“ ජයසූරිය මහතා පැවැසීය.

“ක්‍රිකට් ක්‍රීඩා‍වේදී ඕනෑම දෙයක් විය හැකියි. බංග්ලාදේශය ඕවර් 15ක් ඉතා හොදින් ක්‍රීඩා කළා. නමුත් අපේ ක්‍රීඩකයින් පසු බැස්සේ නෑ. අපිට අවශ්‍ය වුණේ ලකුණු නොදී තියාගෙන එක් කඩුල්ලක් දවා ගන්නයි. මිලාන් තමයි ඒක කළේ දුවද්දී දවාගෙන. ඒ වගේම ජනිත් ලියනගේ ලබාගත් උඩ පන්දුව. පළමු තරගයේදී අපි දිගටම පීඩනය යෙදුවා අපේ ප්‍රධාන දඟ පන්දු යවන්නන්ගෙන්“ ජයසූරිය මහතා පැවැසීය.

බංග්ලාදේශ පිල දිගින් දිගටම ලබන දරුණු පරාජයන් පිළිබඳ මාධ්‍යවේදියෙකු සනත් ජයසූරිය මහතාගෙන් විමසීමේදී පැවැසූවේ ඕනෑම කණ්ඩායමකට මෙවැනි අසීරු කාලයක් උදාවිය හැකි බවය. “ සැම විටම ඔවුන් පහත් කොට සැලකුවොත් හැමවිටම පහතට යයි. ඔබලා ඔවුන්ට ආත්ම ශක්තිය දෙන්න අවශ්‍යයි“ ජයසූරිය මහතාගේ අදහස විය.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍9 වැනි ස්ථාන‍යේ සිටි අතර, පෙරේදා බංග්ලාදේශය පරාජය කිරීමත් සමඟ එම ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. මේ පිළිබඳව සනත් ජයසූරිය මහතාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.

“විශාල අභියෝගයක් තිබුණා අපි හිටපු තැන ඉදලා උඩට එන්න. අපිට චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලියත් අහිමි වෙලා තිබුණේ. කණ්ඩායමක් විදිහට ප්‍රධාන වැඩ ‍කොටසක් කරන්න වුණා. චරිත් අසලංක එයින් ප්‍රධාන වැඩ කොටසක් කරනවා. අපි හැම කෙනෙක්ම තමන්ගේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. ඒ කරපු ප්‍රොසෙස් එක නිසා තමයි අංක 4ට එන්න ලැබුනේ. ඉතින් මම හිතෙනවා තවත් ඉස්සරහට යන්න ඕන නම් අපට තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න. අපි එක දිගට දක්ෂතා දක්වමින් යා යුතුයි. තියෙන අඩුපාඩු අඩු කරල හැම පැත්තම සාර්ථක කර ගත්තොත් අපට තවත් හොඳට ඉදිරියට යන්න පුළුවන් වෙනවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පැවැසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා පැවැත්වූ ජාත්‍යන්තර  එක්දින තරග 58න් වැඩි ප්‍රමාණයක්, එනම් හරියටම තරග 44ක් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස අවසන් වී ඇති අතර, බංග්ලාදේශය තරග 12ක් ජයග්‍රහණය කළේය. ඉතිරි තරග දෙක වර්ෂාවට සේදී ගියේය. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙරට අතර ජාත්‍යන්තර  එක්දින තරග 12ක් පවත්වා ඇති අතර, ඒ සියලු තරගවලදී ගෞරව ශ්‍රී ලංකාව සතුකර ගත්තේය.

සිය ඒක්දින තරග දිවියේ ලකුණු 1000 සීමාව ඉක්මවාලීමට වනිඳු හසරංගට අවශ්‍යව පවතින්නේ ඒක් ලකුණක් පමණි. හෙට දිනෙය්දී ඔහු ලකුණක් ලබා ගත හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒක්දින කඩුලු 100 ක් සහ ලකුණු 1000 සීමාව ඉක්මවාලූ 11 වැනි ක්‍රීඩකයා වශයෙන් ඔහුව ඉතිහාසයට ඒක්වන්නේය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee