slc
logo
Home   |    News
ජූනි 12, 2026
හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට

sinhala editor

ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස ලෙස විශ්මි ගුණරත්න ආරම්භක පිතිකාරිනිය ලෙස කණ්ඩායමට නැවත එක්කර තිබේ.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ විශ්මි, යළි කණ්ඩායම සමඟ එක්වීමෙන් අනතුරුව ඇයගේ සුපුරුදු ආරම්භක ස්ථානය හිමි කරගෙන ඇති අතර, නායිකා චමරි අතපත්තු සමඟ ඉනිම ආරම්භ කිරීමට නියමිතය. පසුගිය ඉනිම් කිහිපයේදී අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් සාර්ථක දස්කම් දැක්වූ විශ්මි, ඉහළ පෙළේ ස්ථාවරත්වය ලබාදෙන ප්‍රධාන පිතිකාරිනියක ලෙස කණ්ඩායමේ අපේක්ෂා දිනාගෙන සිටී.

බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගාවලියේදී ආරම්භක පිතිකාරිනිය ලෙස ක්‍රීඩා කළ හසිනි පෙරේරාට අපේක්ෂිත දායකත්වය ලබාදීමට නොහැකි වූ අතර, එම තරගාවලියේදී ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 0*, 9 සහ 7ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් එම සංචාරයේ එක්දින තරගාවලියේදී ලකුණු 95, 05 සහ 27ක් රැස් කරමින් දක්ෂතා අතරට පැමිණීමට ඇය සමත් වූවාය. ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි20 තරගාවලියේදී ද හසිනි ලකුණු 52, 18 සහ 02ක් රැස් කළාය.

කණ්ඩායම් සංයෝජනය සකස් කිරීමේදී අංක 5 ස්ථානය සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබූ අතර, හසිනි පෙරේරා සහ හංසිමා කරුණාරත්න යන දෙදෙනාම එම ස්ථානය සඳහා විකල්ප ලෙස සැලකිල්ලට ගෙන තිබූහ. කෙසේ වෙතත්,,හසිනිගේ ජාත්‍යන්තර දක්ෂතා බොහෝ දුරට ආරම්භක පිතිකාරිනියක ලෙස වාර්තා වී ඇති බැවින්, මැද පෙළේ ක්‍රීඩා කළ අවස්ථාවලදී ඇයට අපේක්ෂිත සාර්ථකත්වය හිමිව නොමැත.

අනෙක් අතට හංසිමා කරුණාරත්න පසුගිය කාලයේදී දීර්ඝ ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන්වා තිබේ. නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගයේදී මෙන්ම නැගීඑන කණ්ඩායම් අතර තරගාවලියේදී ද ඇය වටිනා ඉනිම් රැසක් ක්‍රීඩා කළාය. එහෙත් ඇයගේ පිතිකරණ ප්‍රවේශය සාපේක්ෂව ඉවසීමෙන් යුක්ත වන අතර ඉනිම ගොඩනැගීම සඳහා වැඩි කාලයක් වැය කරන ආකාරයක් නිරීක්ෂණය වී තිබේ. විස්සයි20 තරගයක මැද පෙළේ ස්ථානයකදී අවශ්‍ය වන වේගවත් ලකුණු රැස් කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් සංයෝජනය තීරණය කර ඇති බව පෙනේ.

මේ හේතුවෙන් විශ්මි ගුණරත්නට ඇයගේ සුපුරුදු ආරම්භක ස්ථානය ලබාදීමත් කණ්ඩායමේ ඉතිරි පිතිකරණ සංයෝජනය සමතුලිතව පවත්වාගෙන යාමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් ප්‍රවේශයේ වැදගත් අංගයක් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරගවලදී දිරිගන්වනසුලු දස්කම් දැක්වීමෙන් අනතුරුවය. සත්කාරක එංගලන්ත කණ්ඩායමට දේශීය තත්ත්වයන් පිළිබඳ වාසියක් හිමිවුවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොඳ සූදානමකින් සහ විශ්වාසයකින් යුතුව මෙම අභියෝගයට මුහුණ දෙති.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය සාර්ථක ආරම්භයකින් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00 ට එංගලන්තයට එරෙහිව පිටියට පිවිසෙනු ඇත.

අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම:- විශ්මි ගුණරත්න, චමරි අතපත්තු (නායිකා), ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා දසනායක, මල්කි මදාර සහ මිථාලි අයෝධ්‍යා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee