slc
logo
Home   |    News
ජූනි 11, 2026
අංජලගේ දෙවැනි ශතකයෙන් කොදෙව් ජයග්‍රාහී සිහිනය බොඳ වෙයි

sinhala editor

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල බණ්ඩාර සමත්විය.

22 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අතිවිශිෂ්ට ඉවසීමකින් යුතුව පන්දුවාරයෙන් පන්දුවාරය කොදෙව් පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින් ලකුණු 189 ක් රැස් කළේ තරගය අවසන් කරන තුරුත් තම කඩුල්ල නොබිඳිව තබා ගනිමිනි. පන්දු 326ක් මුහුණ දුන් අංජලගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය පිළිබඳව කොදෙව්වන් තබා තිබූ බලාපොරොත්තු බිඳ දැම්මේය.

පළමු ඉනිමේ ලකුණු 25ක පසුබෑමත්, දෙවැනි ඉනිම ආරම්භයේදීම පළමු කඩුලු හතර ලකුණු 44ක් ඇතුළත බිඳ වැටීමත් හේතුවෙන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම දැඩි පීඩනයකට ලක්විය. එවැනි අසීරු අවස්ථාවක පිටියට පිවිසි අංජල, පුලිඳු පෙරේරා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟූ අතර, කොදෙව් පන්දු යවන්නන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කළේය.

තෙවැනි දිනය අවසන් වන විට දෙදෙනා අතර නොබිඳුණු ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබූ අතර, සිව්වැනි දිනයේදී එය ලකුණු 162ක් දක්වා වර්ධනය කළහ. මෙම සම්බන්ධතාවය කොදෙව් කණ්ඩායමට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම අහිමි කළ සාධකයක් බවට පත්විය.

විශේෂයෙන් සිව්වැනි දිනයේදී බණ්ඩාර ඉතා සංයමයෙන් පන්දුව තෝරා බේරා ක්‍රීඩා කිරීම නිසා, පන්දු යවන්නන් නිරන්තරයෙන්ම තම පන්දු යැවීමේ රටා වෙනස් කළේය. එහෙත් බණ්ඩාර ඔවුන්ට වඩා බුද්ධිමත්ව පන්දුවට පහර දීම නිසා ප්‍රතිවාදීන්ට සාර්ථකත්වය කරා ගමන් කිරීමට මඟ ඇහිරිණ. කෙසේ වෙතත් තරගය නතර කර දමනා විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 401 ක දැවැන්ත ඉනිමක් ගොඩ නංවා තිබිණ.

සිව්වැනි දිනය පුරා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ලකුණු 228ක් එක් කළ අතර, ඒ සඳහා අහිමි වූයේ කඩුලු 3ක් පමණි. දිනය පුරාම කඩුල්ලේ රැඳී සිටි අංජල කොදෙව් පන්දු යවන්නන්ගේ ශක්තිය, ඉවසීම සහ සැලසුම් එකින් එක බිඳ දමමින් තරගය ජය පරාජයෙන් තොර අවසන් ප්‍රතිඵලයක් කරා රැගෙන ගියේය.

මුල් ඉනිමේදීත් ලකුණු 163ක් ලබාගත් බණ්ඩාර තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් සමස්ත ලකුණු 352ක් ලබාගැනීමට සමත් විය. එම දස්කම ඔහුගේ වෘත්තීය දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ඉදිරියේදී ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීම සඳහා ප්‍රබල පණිවුඩයක් ලෙසද සැලකේ.

පසුගිය මාස කීපය පුරාම පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ අංජල බණ්ඩාර, අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමගින් ලකුණු 851 ක් රැස් කළේය. ඉන් අනතුරුව පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේදීද තරග හතරකදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 365 ක් ලබා ගනිමින් නැගීඑන කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 90.2 කදී සියලු දෙනා දැවී ලකුණු 356 යි – (අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර 163, නිසල අබේරත්න 48, ජෝන් ලියන් 68/3, රයන් බන්ඩූ 45/3, ජේඩියා බ්ලේඩ්ස් 83/2)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 103.4 කදී සියලු දෙනා දැවී ලකුණු 381 යි – (ඩමෙල් එව්ලින් 35, මවේන්ද්‍ර දින්ද්‍යාල් 60, ශක්රේ පැරිස් 55, රිවාල්ඩෝ ක්ලාර්ක් 127, ජෝන් ලේන් 35,  ශක්ති උදාර 102/6, නිසල අබේරත්න 76/2, චමොද් බට්ටගේ 65/2)

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 116 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 401 යි – (අංජල බණ්ඩාර 189, පුලිඳු පෙරේරා 87, අසිත වන්නිනායක 14, දිනුර කලුපහන 25, රවිදු රසාන්ත 02, සහන් කෝසල 01, ශාරුජන් ශන්මුගනාතන් 11, ශක්ති උදාර 12, නිසල අබේරත්න 04*, තරින්ද නිර්මාල් 40, ජෝන් ලියෙන් 61/3, ජේඩියා බ්ලේඩ්ස් 43/1, රයන් බන්ඩූ 104/1, මවේන්ද්‍ර දින්ද්‍යාල් 22/1)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee