slc
logo
Home   |    News
ජූලි 4, 2025
ශතකය අභියස සිටින නිහතමානී ක්‍රිකට් විනිසුරු – රුචිර පල්ලියගුරුගේ

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩාව රටක් තුළ ජාතික උනන්දුවක් පමණක් නොව, ජීවිත රටාවක්ද වෙයි. බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට, ජාතික කණ්ඩායම නියෝජනය කිරීම වඩාත් උතුම් සිහිනයකි. කෙසේ වෙතත්, මෙම සිහිනය සැබෑ කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නා බොහෝ දෙනෙක් තමාගේ ආදරණීය ක්‍රීඩාවෙන් වෙන් නොවී ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවලට යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. මේ මඟ ගිය අය අතර විනිසුරු වෘත්තිය තෝරා ගන්නා අය ඉතා අඩුය. එයිනුත් අභියෝග ජයගෙන ඉහළම මට්ටමට ළඟා වුණු අය ඉතාම අල්ප හිමිකරුවන් පිරිසකි.

විනිසුරු වෘත්තියට බහුතරයක් දෙනා යොමු නොවීමට ප්‍රධාන කරුණු කීපයක්ම බලපානු ලබයි. ක්‍රිකට් නීති, ඉංග්‍රීසි භාෂා දැනුම, තාක්ෂණික මට්ටමේ තීරණ ගැනීම, තරග කොන්දේසි වල දැනුම, හා විශාල මානසික පීඩනය යන අභියෝගයන් ඒ අතර ප්‍රධාන වෙයි. ක්‍රිකට් විනිසුරුකරණයේදී නීති 42 කි. ඒ සියල්ල තම මතකයේ තියාගෙන දවසකට පැය 6 ක් අවුවේ කර වෙන එක ඒ තරම් පහසු කරුණක් නොවේ. ඊටත් අමතරව තරගාවලියෙන් තරගාවලියට වෙනස් වන තරග කොන්දේසි මෙන්ම ගණිත ශාස්ත්‍රයද ක්‍රිකට් විනිසුරුකරණයට බද්ධව පවතින දේවල් වේ.

මේ සියල්ලටම වඩා අසීරුම කරුණ වන්නේ තරගයකදී විනිසුරුවරයකුට තියෙන පීඩනයයි. එය ජාත්‍යන්තර තරගයකදී නම් දරාගත නොහැකි තරමේය. මේ සියල්ල දිහා අවධානය යොමු කළ විට ක්‍රිකට් විනිසුරුවරයකු වීම යනු ඉහතින් සඳහන් කළ සෑම කරුණකටම වඩා අසීරු කරුණක් බව ඔබට වැටහෙනු ඇති. එම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කෙතරම් දක්ෂ වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරුකරණයට ගොඩක් දෙනෙක් නැඹුරු නොවීමට ඉහතින් සඳහන් කරන ලද කරුණු හේතු නොවෙනු ඇතැයි කාටනම් කිව හැකිද…?

එහෙත් අද අපි ඔබට සඳහන් කරන්න හදන කථාවේ නායකයා ඊට හාත්පසින්ම වෙනස් කෙනෙකි. ඔහු පළමුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ‘අ‘ යන්න කියවන්නේ මාතර සර්වේෂස් විදුහලිනි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ ක්‍රීඩකයෙක් විදියට නමක් දිනාගෙන සිටින වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සනත් ජයසූරියගේ පාසලෙනි. සනත් ජයසූරියගේම සමකාලීනයෙක් වෙන ඔහුගේ බලාපොරොත්තු වූයේද කෙසේ හෝ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම විය. ඒ වෙනුවෙන් ඔහු නොරකරපු කැපවීමක් නොමැත. එහෙත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට දක්ෂතාවයම පමණක් නොව වාසනාවද තිබිය යුතුය යන්න ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස බැලීමේදී හොඳින්ම ගම්‍ය වන කරුණකි. එකී වාසනාව අහිමිවීමම අප මේ කථා නායකයාට ජාතික කණ්ඩායමට පැමිණිම නොහැකි වුණු මූලිකම හේතුව විය.

ක්‍රිකට් යනු සැමදා කළ හැකි ක්‍රීඩාවක් නොවේ. නිසි වයස පැමිණීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතු වීම ස්වභාවයයි.  එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ඔහු තුළ තිබුණු බලාපොරොත්තු වල නම් කිසිම අඩුවක් සිදු නොවිණ. ඔහු ඒ වෙනුවට කළේ පහසුම දේ වෙනුවට අමාරුම දේ තෝරා ගැනීමයි. කොටින්ම විනිසුරු වෘත්තිය තෝරා ගැනීමයි.

කිසියම් ඉලක්කයක් කරා යෑමේදී ඒකායන අධිෂ්ඨානය තමන් සතුව තිබේ නම් එය වළකාලීමට කිසිවකුත් නොහැක්කක් මෙන් ඔහුද ජීවිතයෙ දෙවැනි ඉනිම ලෙසින් ආරම්භ කළ ක්‍රිකට් විනිසුරු ගමන මේ වන විටත් කෙළවරට පැමිණ තිබෙන්නේ ජාත්‍යන්තර එක්දින තරග 100 ක විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ අභිමුවට පැමිණෙමින්. මේ සටන තබන විටත් තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ශතකයට සූදානම් වෙන ඔහු වෙන කවුරුත් නොව රුචිර ශමාන් අක්මීමන පල්ලියගුරුගේ හෙවත් අපි කවුරුත් හොඳින් හඳුනන රුචිර පල්ලියගුරුගේයි.

1968 වසරේ ජනවාරි මස 22 වැනිදා මෙළොව එළිය දුටු පල්ලියගුරුගේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් වරම් දිනා ගනු ලබන්නේ 1989 වසරේදී. එතැන් පටන් බ්ලූම්ෆීල්ඩ්, හලාවත මේරියන්ස්, එන්. සී. සී., ඕල්ඩ් කේම්බ්‍රියන්ස්, මෙන්ම සැරසන්ස් ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඔහු පළමු පෙළ තරග දිවියේ තරග 124 කට ක්‍රීඩා කරනු ලැබීය. දකුණතින් පිත්ත හැසිරවූ පල්ලියගුරුගේ පිත්තෙන් ලකුනු 4478 ක් සහ දකුණතින් මඳ වේග පන්දු යවමින් කඩුලු 220 ක් දවා ගැනීමට සමත්ව දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2008 වසරේදී සිය පළමු පෙළ තරග දිවියට සමුදෙන පල්ලියගුරුගේ එතැන් පටන් සිය දිවියේ ඉදිරියට යෑමට තෝරා ගන්නේ ක්‍රිකට් විනිසුරුකරණයයි.

බන්දුල වර්ණපුර මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ණ්ඩායමත්, කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමත් එක්ක මෙරට ක්‍රිකට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණු 1982 වසරේ පෙබරවාරි 17 වැනිදාය. එම ටෙස්ට් තරගයේදී විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන ලද්දේ  කේ. ටී. ෆ්‍රැන්සස් සහ හර්බි ෆේල්සිංගර් යන මහත්වරුන්ය. එදා පටන් මෙතෙක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් විනිසුරුවරයකු වුණු 15 වැන්නා ලෙසින් පල්ලියගුරුගේ මහතා ඉතිහාස ගතව සිටියි.

ඇලන් ෆලේසිංගර්, ටී. එම්. සමරසිංහ, ඉග්නේසියස් අනන්දප්පා, ඩොනල්ඩ් බූල්ජන්ස්, කැමිලස් පෙරේරා, ගාමීණී සිල්වා, බැසිල් ඇන්තනි, හර්බි ෆේල්සිංගර්, බී.සී. කුරේ, අසෝක ද සිල්වා, පී. ඩබ්. විදානගමගේ, සෙල්ලයියා පොන්නදොරේ, කේ. ටී. ෆ්‍රැන්සිස්, පීටර් මැනුවෙල් සහ කුමාර් ධර්මසේන යන විනිසුරුවරුන් පල්ලියගුරුගේ කළින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක විනිසුරුකරණයේ නියැළුණු අය වූහ.

පල්ලයගුරුගේ මහතා ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස පළමුව භෞතීස්ම ලබන්නේ 2011 අවුරුද්දේදීය. ඒ ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් සමඟ අගෝස්තු 06 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු විස්සයි-20 තරගයේදීය. එම තරගයෙන් පසු එම තරගාවලියයටතේම අගෝස්තු 14 වැනිදා හම්බන්තොටදී පැවැත්වුණු එක්දින තරගය පල්ලියගුරුගේ මහතාගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය බවට පත් විය.

එදා සිට මේ දක්වා ගෙවුණු වසර 14 ක කාලය ඇතුළත පල්ලයගුරුගේ මහතා පිටියේ ප්‍රධාන විනිසුරුවරයකු ලෙසින් 99 වතාවක් කටයුතු කර තිබේ. ඒ කාලය අතරතුරු 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය විනිශ්චය කිරීම සඳහා තෝරන ලද විනිසුරුවරුන් 20 දෙනා අතර ස්ථානනයක් පල්ලියගුරුගේ මහතාට හිමිවීමත් විශේෂත්වයකි. ඊට අමතරව 2016 වසරේ පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයත් මෙතෙක් කලක් පල්ලියගුරුගේ මහතාගේ ජාත්‍යන්තර විනිසුරු තරග දිවියේ අමතක නොවන මතක අතරට එක් වුණු තරගයක් ලෙසින් හැඳින්විය හැක. ඔහු විනිසුරුවරයකු ලෙසින් කරන ලද කාර්යය භාරය කොතෙක් හොඳින් ඉටු කිරීමට සමත් වූවේද කිවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2016 වසරේදී සංවිධානය කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මාන ප්‍රධානයේදී හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි සම්මානයත් හිමිකර ගත්තේ ඔහු කරන ලද කාර්යයට හොඳම ඇගැයීම ලබා ගනිමිනි.

ජාත්‍යන්තර විනිසුරුවරයෙක් යනු ඉතා කාර්යය බහුල ජීවිතයක් ගත කරන්නෙකි. එහෙත් ඉඩ කඩක් ලද සෑම වෙලාවකම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාසල් තරගවලත් විනිසුරු කටයුතු කරන්න තරම් අප කථා නායකයා නිහතමානී කෙනෙකි. එම තරග වලින් උපයනු ලබන මුදල් ඔහු කිසි විටෙකත් තම පොකැට්ටුවට දා ගැනීමට කටයුතු නොකරනු ලබන පල්ලයගුරුගේ ඒ සියල්ල තම පාසල වන මාතර සර්වේෂස් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යොමු කරන්න තරම් හොඳ ගුණාංගයක් තිබෙන බව සඳහන් කර සිටින්නේ ඔහු ළඟින්ම සිටින පිරිසයි.

කාලයාගේ ඇවෑමෙන් රුචිර දැන් ඔහුගේ විනිසුරු තරග දිවියේ ශතකය ආසන්නයට පැමිණ සිටින්නේය. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජූලි මස 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වනු ඇත. ඔහු එම සුවිශේෂී කඩඉම පසු කරන අවස්ථාව වනව විට ඔහු මේ ගෙවා දමමින් සිටින්නේ ඔහුගේ 57 වැනි වියයි. 

රුචිර පල්ලියගුරුගේ මහතාගේ ක්‍රිකට් විනිසුරු දිවිය නිරන්තර කැපවීමේ සහ නිර්භීත අධිෂ්ඨානයේ ජයග්‍රහණයකි. ඔහු තෝරාගත් මඟ, බොහෝ දෙනෙකුට නොපෙනෙන නමුත් දැඩි වගකීමක් සහිත්තකි. එකී අභියෝගාත්මක විනිසුරු වෘත්තිය, සාර්ථකව ඉටු කිරීම ඔහු සතුව ඇති විශේෂත්වයයි. ක්‍රීඩාවෙන් පසු ජීවිතයේ දෙවැනි ඉනිමක් ලෙස ක්‍රිකට් විනිසුරුකරණය තෝරා ගනිමින් ජාත්‍යන්තර මට්ටමට පත්වීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ අගනා ජයග්‍රහණයකි. රුචිර පල්ලියගුරුගේ මහතාගේ ජීවිතය කියාපාන්නේ වාසනාවකින් නොව, කැපවීමෙන් හා මිනිසාගේ ශක්තියෙන් පදනම්වූ ජයග්‍රහණයක කථාවකි. ඒ ක්‍රීඩාවෙන් දෙයක් අහිමි වූ අවස්ථාවකදී ඉන් අධෛර්යට පත් නොවී එම ක්‍රීඩාව තුළින්ම නැවත ජීවිත ගමන් මාර්ගයක් නිර්මාණය කර ගත් පුද්ගලයෙකු වශයෙනි. එබැවින් ඔහු පුද්ගලයකු ලෙස – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදාතනික පිටුවක් වශයෙන් හැඳින්විය හැකිය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee