ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු වන ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පහර දීමේ ශිල්පීය ක්‍රම මුවහ් කර ගැනීමට සහ ඔවුන්ගේ සමස්ථ ජව සම්පන්න පහර එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම අරමුණු කර ගනිමින් ඒ මහතා ජාතික පුහුණුකරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත.
“ජව සම්පන්න පහර වැඩසටහන“ (“Power Hitting Program” ) ලෙස හැඳින්වෙන නවෝත්පාදන වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙන වුඩ්, ක්‍රිකට් තාක්ෂණයන්, පුහුණු ක්‍රමවේද හා ජෛව යාන්ත්‍ර විද්‍යාව (biomechanics) එකට ඒකාබද්ධ කරමින් ක්‍රීඩකයින්ගේ ජව සම්පන්න කුසලතා ශක්තිය වැඩි දියුණු කරනු ඇත.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට අමතරව ග්ලෝස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්තවල කටයුතු කර ඇති වුඩ් මහතා, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කිංග්ස් XI පන්ජාබ් ඇතුළු ඇතුළු සෙසු කණ්ඩායම් සමඟද මීට පෙර කටයුතු කර තිබේ.
මෙම මුලපිරීම 2025 වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම 2026 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි සඳහා සිදුකෙරෙන අඛණ්ඩ පෙර සූදානම් කිරීමේ කොටසක් වේ.





