සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු විස්සයි20 තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ මේ බව පැවැසීය. ඔහු බංග්ලාදේශ කඩුලු 2ක් දවාගත් අතර, තරගයේ ජය කඩුලු 7කින් ශ්‍රී ලංකාව සතු වූවේය.
“මේ තරගාවලියේ පමණක් නොවෙයි සෑම අවස්ථාවකදීම අපි පිටියට යන්නේ එකොළොස් දෙනෙක් එක්ක කණ්ඩායමක් විදිහටයි. ඉතින් කණ්ඩායමක් විදිහට ගත්තොත් හැමෝම මිනිස්සු ඉන්නේ. ඕනෑම වේලාවක අතපසුවීමක් වෙන්න පුළුවන්. හැමදාම එකොළොස් දෙනාම හොඳින් ක්‍රීඩා කරන්නේ නෑ. කව්රු හරි දවසක ටිකක් අසාර්ථක වුණොත් ඔහුව ආවරණය කරගෙන ක්‍රීඩා කරන්න අනිත් අය බලනවා. ඒක තමයි කණ්ඩායම් හැගීම. ඒ හැගීමෙන් තමයි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරවන්නේ“ මහීෂ් තීක්ෂණ සඳහන් කළේය.
ප්රශ්නය : මේ තරගයේ ජයග්‍රහණය පිළීබඳ ඔබේ විශේෂ සලකුණ මොකක්ද?
පිළිතුර : පල්ලේකැලේ තණතිල්ලත් එක්ක අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් වුණා. පන්දු යවන්නන් ඔක්කොම හොඳට බෝල් කළා. ඉක්මන්ට තණතිල්ලට අවශ්‍ය පරිදි අපි හැඩ ගැසුණා. ගොඩක් හොඳ දේවල් වුණා.
ප්රශ්නය : අඩුපාඩුවක් වශයෙන් බැලුවොත් මොන වගේ දෙවල් ද තියෙන්නේ?
පිළිතුර: කියන්න තරම් ලොකු අඩුපාඩුවක් දකින්නේ නෑ. අද තරගයේදී කරපු දේවල් තව ටිකක් හොඳට කරන එක තමයි ඉදිරි තරගවලදී කළ යුත්තේ. ඒකට අමතරව ලොකු අඩුපාඩුවක් දකින්නේ නෑ.
ප්රශ්නය : බංග්ලාදේශය හොඳ ආරම්භයක් ගත්තා. මොකක්ද සැලසුම වුණේ ඒ වේගය අඩාල කරන්න?
පිළිතුර : ඔවුන් පන්දුවට පහර දෙද්දී අපි හිතුවේ තණතිල්ල ගොඩක් ‘ෆ්ලැට්‘ වෙයි කියලා. නමුත් ටික වේලාවක් යද්දී අපිට පෙනී ගියා තණතිල්ල වේගය අඩාල වෙන ගතියක් තිබෙන බව. එයට අනුකූලව අපි පන්දු රකින්නන් සියලු දෙනා කතා කරලා සැලසුමක් අනුව ගියා.
ප්රශ්නය: ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඔවුන්ට අරාධනා කළේ මොන වගේ විශ්වාසයක් ඇතිවද?
පිළිතුර : අපි හිතුවේ ලකුණු 180කට අඩුවෙන් තියා ගන්න එක හොඳයි කියලා. නමුත් තණතිල්ලේ හැසිරීම අනුව ලකුණු 160ක් හඹා යන්න පුළුවන් කියලා පසුව අපි තීරණය කළා.
ප්රශ්නය : පන්දු යැවීමේදී කණ්ඩායමේ සැලසුම වුණේ ලකුණු අඩුවෙන් තියා ගන්නද? කඩුලු ලබාගෙන ඔවුන් දවා ගන්නද?
පිළිතුර : අපේ එක් එක් පන්දු යවන්නන් ඉන්නවා. එදාට හොඳට විකට් ගන්න අය. සමහර අය ලකුණු අඩුවෙන් දෙනවා. ඒ අයට අනිත් අය උදව් කරලා සහයෝගය දෙන එක අපේ සැලසුමක්. අද මට කඩුලු 2ක් ගන්න පුළුවන් වුණා. නමුත් එක්දින තරගාවලියේ මට ලැබුණේ එක් කඩුල්ලයි. ඒ නිසා දවසේ හොඳට කරන අයට උදව් කරන එක තමයි කණ්ඩායමේ සැලසුම.
ප්රශ්නය : බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණා. විශේෂෙන් හොසේන් එමෝන්. මොකද හිතන්නේ?
පිළිතුර : ඇත්තටම ඔවුන් හොඳින් අවතීර්ණ වුණා. ඔවුන් එක්දින තරගාවලියේදීත් හොදින් පන්දුවට පහර දුන්නා. ආරම්භක පිතිකරුවන් දෙදෙනා යම් සාර්ථකත්වයක් ගත්තා. ඒත් අපි හොඳින් පන්දු යැව්වා. අන්තර්ජාතික තලයේ ඔවුන්ට හොඳ අනාගතයක් තියෙනවා.





