ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම වගකීමේ කොටසක් ලෙසින් අන්තර් සමාජ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලයේ 350 දෙනෙකු සඳහා රක්ෂණ ආවරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වය යටතේ විධායක කමිටුව විසින් 2023 වසරේදී හඳුන්වා දෙන ලද මෙම රක්ෂණ වැඩසටහන යටතේ 2025 තරග වාරයේ තරග වදිනු ලබන ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 14 ක ක්‍රීඩකයින් 280 දෙනෙකු සහ කණ්ඩායම් සහායක කාර්යය මණ්ඩලයේ 70 දෙනෙකුට ප්‍රතිලාභ හිමිව තිබේ.
ඒ අනුව පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට මෙන්ම සහාය කාර්යය මණ්ඩලයට තරග කාලය තුළ මතුවිය හැකි අනපේක්ෂිත අනතුරු, සෞඛ්‍ය ගැටලු සහිත තත්ත්වයන්ට ආවරණයක් හිමිවීම මේ වැඩසටහන හරහා ඉටු වනු ඇත.
මෙම රක්ෂණාවරණය හරහා, සෑම ක්‍රීඩකයකුටම සහ සහායක කාර්යය මණ්ඩලයේ සාමාජිකයිනට පුද්ගලික අනතුරු ආවරණයක් සහ වෛද්‍ය ආවරණයක් හිමිවනු ඇත. ඊට සියලුම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගෙන් පස් දෙනෙකු සඳහා බරපතල රෝගාබාධ ආවරණයක්ද මෙමගින් ලබා ගත හැකිවනු ඇත.
මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ වෙත රක්ෂණාවරණ ප්‍රතිලාභය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් අඛණ්ඩව ලබා දුන් තෙවැනි වසර ලෙසින් මෙම අවස්ථාව සනිටුහන් වේ.
මෙම කර්තව්‍යට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව අත තැබූ 2023 වසරේදී ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 22 ක ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලයේ 550 දෙනෙකුටද 2024 වසරේදී ක්‍රීඩා සමාජ 18 ක් නියෝජනය කරන ලද ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලයේ 450 දෙනෙකුටද රක්ෂණාවරණය ලබා දෙනු ලැබීය.
උක්ත වැඩපිළිවෙළ යටතේ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම ක්‍රීඩා සමාජයකින්ම ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙක් මෙම රක්ෂණාවරණය ලබා ගැනීම සදහා සුදුසුකම් ලබනු ඇත.
“වෘත්තීමය වශයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටින අපගේ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ සහායක කාර්යය මණ්ඩලයට හොඳම පහසුකම් සැපයීම අරමුණු කොට ගෙන මෙම රක්ෂණාවරණ ලබා දීමට තීරණය කළා. ඉහළම මට්ටමේ සුභසාධන ප්‍රතිලාභ ලබාදීම හරහා මෙරට ප්‍රමුඛ පෙළෙහි ශක්තිමත් සංචිතයක් පවත්වාගෙන යෑමට එය අපිට උපකාරී වේවි“ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.




