සසිත් බණ්ඩාරගේ විශිෂ්ට ශතකයෙන් පණ ගැන්වුණු ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති තුන් දින ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද (11) පාකිස්තාන යොවුන් පිල සිය පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 434කට අත්හිටුවමින් ලකුණු 149ක පළමු ඉනිමේ වාසියක් හිමි කර ගත්තේය. ඊට පිළිතුරු ලෙස දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා යොවුන් ක්රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටියහ.
තරගයේ පළමු දිනයේදී ශ්රී ලංකාව වෙනුවෙන් සසිත් බණ්ඩාර නොදැවී ලකුණු 96ක් රැස් කරමින් දෙවැනි දිනයේදී සිය ශතකය සම්පූර්ණ කළ අතර, ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 285කට සීමා විය. ඊට පිළිතුරු ලෙස දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා සිටි පාකිස්තාන යොවුන් ක්රීඩකයෝ අවසන් දිනයේදී තවත් ලකුණු 128ක් එක් කරමින් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.
එහිදී දෙවැනි දිනය අවසානයේ නොදැවී ලකුණු 144ක් ලබා සිටි මොහොමඩ් යූසෆ් සිය ඉනිම ලකුණු 161 දක්වා ඉහළ නංවා ගත්තේය. පන්දු 117කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමඟින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිම පාකිස්තාන පළමු ඉනිමේ ප්රධානතම පිතිකරණ දායකත්වය විය. සුදයිස් අහමඩ් ද ලකුණු 61ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනුණු සඳරු මල්ෂාන් ලකුණු 104කට කඩුලු 3ක් දවා ගත්තේය.
ලකුණු 149ක පළමු ඉනිමේ අවාසියක් සමඟ දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නායක ස්ටීවන් පීරිස් සහ මෙතුක ගුණරත්න පිත්තෙන් දස්කම් දැක්වූහ. ස්ටීවන් පීරිස් පන්දු 95කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 67ක් රැස් කළ අතර, මෙතුක ගුණරත්න ලකුණු 49ක් ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිමට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.
පාකිස්තාන පන්දු යවන්නන් අතරින් අබ්දුල්ලා අහමඩ් බට්, මොහොමඩ් ඉහ්සාන් සහ ෆහඩ් ඉක්බාල් කඩුලු 2 බැගින් දවා ගත්හ. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට ශ්රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලෙස සටහන් වූ අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
මෙම තරගයෙන් අනතුරුව දෙරටේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර තරග පහකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 15 වැනිදා සිට 24 වැනිදා දක්වා එම ක්රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී 285 (පන්දුවාර 86.5) – සසිත් බණ්ඩාර 103, රවීන් සචින්ත 38, චෙනුක දොඩංගොඩ 26, මෙතුක ගුණරත්න 22, ෆහඩ් ඉක්බාල් 46/3, මොහොමඩ් ඉහ්සාන් 62/3, මොහොමඩ් යාකූබ් ඛාන් 33/2.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම කඩුලු 8ක් දැවී 434 (පන්දුවාර 101.3; ඉනිම අත්හිටුවන ලදී) – මොහොමඩ් යූසෆ් 161, සුදයිස් අහමඩ් 61, සඳරු මල්ෂාන් 104/3.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 187 (පන්දුවාර 52.5) – ස්ටීවන් පීරිස් 67, මෙතුක ගුණරත්න 49, අබ්දුල්ලා අහමඩ් බට් 14/2, මොහොමඩ් ඉහ්සාන් 40/2, ෆහඩ් ඉක්බාල් 58/2.




