නැගීඑන වයස්වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අදිටනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25 දා) අවසන් වුණු තරග 2 කදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මොරටුව ක්‍රීඩා සමාජයේ ඉසුල නිඳුවර සහ උෂාන් සත්සර සමත්වූහ.
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මොරටුව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඉසුල ලකුණු 106 ක්ද උෂාන් ලකුණු 45 කට කඩලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් ද දස්කම් දැක්වූහ.
පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුලගේ ශතකය ප්‍රධාන කොට මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 331 ක් රැස් කිරීමට අවස්ථාව උදාවිය. පන්දු 272 කට මුහුණ දුන් කඩුලු රැකීමේ කර්තව්‍යද ඉටු කරන ඉසුල තම ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණේය. ඔහුට අමතරව සහන් කෞෂල්‍ය පන්දු 120 කදී ලකුණු 97 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූවේය.
මොරටුව කණ්ඩායම ලබා දුන් පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී උෂාන් සත්සරගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට චිලව් මේරියන්ස් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි.
පළමු ඉනිමේදී ලකුණු 123 පළමු ඉනිමෙන් පිටුපස සිටීම නිසා නැවතත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව චිලව් මේරියන්ස් කණ්ඩායම වෙත ලබා දීමට මොරටුව ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් දිනය අවසන් වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි චිලව් මේරියන්ස් කණඩායම කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය.
මේ අතර අනුරාධපුරයේදී පැවැති යුනයිටඩ් සදර්න් සහ නුගේගොඩ කණ්ඩායම් අතර තරගයද ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. පළමුව පන්දුවට පහර දුන් යුනයිටඩ් සදර්න් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 54 ක් පමණක් වුවත්, දෙවැනි ඉනිමේ තරගය හමාර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්තේය. යුනයිටඩ් සදර්න් කණ්ඩායම පළමු ඉනිමේදී අසරණ කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුගේගොඩ ක්‍රීඩා සමාජයේ දහම් නිර්මාල් ලකුණු 19 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවා ගත්තේය.
මෙම තරගයේදී නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 231 ක් ලබා ගත් අතර එහිදී පුළිඳු පෙරේරා ලකුණු 59 ක් ලබා ගත්තේය. පිතිහරඹයට අමතරව පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වූ පිළිඳු යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් ලකුණු 25 කට දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවේය.
වැඩි ගෞරව මොරටුවට
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 103.3 කදී සියලු දෙනා දැවී ලකුණු 331 යි – (ඉසුල ඉඳුවර 106, සහන් කෞෂල්‍ය 97, දුමින්ද සෙව්මිණ 30, අභිසේක් ලියනාරච්චි 27, සසිඳු බෙත්තගේ 20, ඩිලාන් දම්සර 66/4, තිමිර ඉරුෂික 75/3)
චිලව් මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 62.3 කදී සියලු දෙනා දැවී ලකුණු 208 යි – (දර්ශක සංදීප් 53, සකුන ලියනගේ 43, තරිඳු අමරසිංහ 31, තෙව්මින් අමරසිංහ 28, හිරාන් ජයසුන්දර 23, උෂාන් සත්සර 45/5, දුමිඳු සෙව්මිණ 59/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 47 යි – (තරිඳු අමරසිංහ 30*)
යුනයිටඩ් සදර්න් සහ නුගේගොඩ අතර තරගය විසඳුමක් නෑ
යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 16.2 කදී සියලු දෙනා දැවී ලකුණු 54 යි – (පෙසඳු සංජන් 25, දහම් නිර්මාල් 19/6, අබ්දූල් හකම් 12/2, පසිඳු පැතුම් 22/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 78.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 167 යි – (හංස එෂාන් 49, සෙනිර ලිත්මින් 25*, තමිඳු ප්‍රදීප්ත 24, පුළිඳු පෙරේරා 25/4)
නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 60.3 කදී සියලු දෙනා දැවී ලකුනු 231 යි – (පුළිඳු පෙරේරා 59, අභිෂේක් ආනන්දකුමාර 32, පසිඳු පැතුම් 31, අභිෂේක් ජයවීර 25, දහම් නිර්මාල් 23, සිතුක ගුණවර්ධන 60/4, සසංක නිර්මාල් 81/4, හිමාල් රවිහංස 74/2)





