• කණිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690
• ක්‍රිකට් සපත්තු කට්ට්ල 9995 ක්
• පන්දු විසිකිරීමේ උපකරණ (Throwing Arms) 970
• ක්‍රිකට් පුහුණු උපකරණ කට්ටල 97 ක්
• ක්‍රිකට් පන්දු 2760 ක්
බෙදාදීම දිස්ත්‍රික්ක 25 ක – එකම දින – එකම වෙලාවේ
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මග‘ වැඩසටහන යටතේ කණිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අගෝස්තු මස 20 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.
පෙ.ව. 10.00 ට ආරම්භවීමට නියමිත මෙම දැවැන්ත උත්සවයේදී ක්‍රිකට් උපකරණ බෙදා දීමට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු කට්ටල, ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම පාසලකටම පන්දුව විසිකිරීම සදහා යොදා ගනු ලබන උපකරණ (Throwing arms), දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කිරීමේ උපකරණ කට්ටල සහ ක්‍රිකට් පන්දු ද බෙදා දීමට නියමිතය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මුල්කරගනිමින් සිදුකරනු ලබන මෙම වැඩසටහනේ ඇති සුවිශේෂීතාව වන්නේ කොළඹ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක 25 දීම එකම වෙලාවට මෙම උපකරණ බෙදාදීමට කටයුතු යොදා තිබීම වේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් විසින් තෝරා ගනු ලැබූ පාසල් සඳහා අදාළ උපකරණ බෙදා දෙනු ඇත. මීට අමතරව පළමු වතාවට අවු. 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සහ දිස්ත්‍රික් සංචිතවල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා කරනු ලබන සපත්තු යුගල බෙදාදීමද මෙම වැඩසටසටහන සුවිශේෂීත්වයක් එකතු කරනු ලබයි. ඒ අනුව මෙදිනදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු යුගල 9995 ක් පිරිනැමෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව සූදානම් කර ඇති උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සංචිතවල පසුවන අවු. 13, 15, 17 සහ 19 න් පහළ සහ අවු. 19 න් පහළ බාළිකා යන වයස් කාණ්ඩ යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ද මෙම ක්‍රීඩා සපත්තු කට්ටල පිරිනැමෙනු ඇත.
ඒ අනුව දිස්ත්‍රික් සංචිත යටතේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු යුගල 3250 ක්, අවු. 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් 6138 ක්ද සහ පළාත්වල පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 607 දෙනෙකු වශයෙන් එම සපත්තු යුගල 9995 බෙදා දෙනු ඇත.
ඊට අමතරව දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ පුහුණු කටයුතු සාර්ථකව සිදුකර ගැනීම වෙනුවෙන් පුහුණු කිරීමේ උපකරණ ඇතුළත් බෑග් 97 ක් සහ ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 970 ක් සඳහා පන්දුව විසිකිරීම සදහා යොදා ගනු ලබන උපකරණ (Throwing arms) මෙන්ම දිස්ත්‍රික් සංචිත සහ දිස්ත්‍රික් සංගම් යටතේ පවතින ක්‍රීඩා සමාජ සඳහා ක්‍රිකට් පන්දු 2760 ක්ද මෙම වැඩසටහනට සමගාමීව පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.
‘ජාතික සංවර්ධන ගමන් මඟ‘ වැඩසටහන මගින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ක්‍රිකට් උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමේ ස්ථාවර වාර්ෂික මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරින් වසර පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවකට සහාය ලබා දෙනු ඇත.
මාධ්‍ය අංශය
ශ්‍රී ලංකා ක්‍රිකට්






