ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ක්‍රිකට් ක්‍රීඩාව තවදුරත් ශක්තිමත් සහ සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල්, ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ඩන්කන් වයිට්‘ ශ්‍රවණාගාරයේදී අද (20 දා) පෙරවරුවේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිතයා ලෙසින් එහි පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා අතින් පෙ.ව. 10.00 සිට ක්‍රිකට් උපකරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගනිද්දී එම මොහොතේම එම උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා වූ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්ද 24 හරහා ක්‍රිකට් උපකරණ බෙදාදීම එකවරම සිදු කිරීමද විශේෂත්වයක් විය.
ක්‍රීඩා අමාත්‍යවරයාට අමතරව මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුර බණ්ඩාර මහතා සහභාගිවද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සභාපති ශම්මි සිල්වා, උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු වන සුසන්ත මෙන්ඩිස් යන මහත්වරුන් සහභාගිව සිටියහ.
මෙහිදී සභාව ආමන්ත්‍රණය කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා, සඳහන් කර සිටියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වසරකට බිලියන 2.5 ක මුදලක් හෙවත් කෝටි 250 කට ආසන්න මුදලක් වැය කරනු ලබන බවයි.
ඒ අනුව පාසල් 690 ක් වෙනුවෙන් කණිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් ක්‍රීඩා සඳහා යොදා ගනු ලබන සපත්තු යුගල 9995 ක්, පන්දු විසිකිරීමේ උපකරණ (Throwing arms) 970 ක්, දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා පුහුණු උපකරණ කට්ටල 97 ක් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රිකට් පන්දු 2760 ක් අද දින වැඩසටහනේදී බෙදා දීමට කටයුතු යොදන ලදී. මේ සියල්ල ලබා දෙන ලද්දේ මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාදීමට අමතරව වීමද කැපී පෙනෙයි.
අද දින ලබා දෙන ලද මෙම උපකරණ ඉදිරියේදී භාවිතා කරන ආකාරය පිළිබඳවද සෑම පාසලක්ම රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන්ට වගකිව යුතු බවද ගොඩලියැද්ද මහතා සඳහන් කර සිටියේය.
“මෙම භාණ්ඩ ලබාදීමෙන් අනතුරුව මේ භාණ්ඩ ගබඩා කිරීම, භාවිතය සහ අනෙකුත් කටයුතු පිළිබඳව රජයේ පාසල් ජාතික විගණන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණ යටතේ කටයුතු කරන්නටත්, ඒ වගේම පෞද්ගලික පාසල්වලටත් සහ දිස්ත්‍රික් සහ අනික්තු ක්‍රීඩකයන්ට ලැබෙන දේවල් ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට අනුකූලව විගණනයට ලක් වෙනවා. මම හිතනවා මේක විශේෂ අවස්ථාවක්“ යැයි යනුවෙන් භාණ්ඩාගාරිකවරයා කරුණු දක්වා සිටියේය.
එහි ඇති විශේෂත්වයක් වන්නේ අද දින ප්‍රධාන වැඩසටහන වන කොළඹ පැවැති වැඩසටහනට අමතරව දිවයිනේ දිස්ත්‍රික්ක 24 ම ක්‍රිකට් උපකරණ ලබාදීම රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් සහභාගිවී සිටීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු විශාල දේපළක් නොමැති තැනක් බවත්, එය හුදෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් යන සන්නාමය පමණක් බව සඳහන් කර සිටි භාණ්ඩාගාරිකවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් උපයන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ලොව පුරා අලෙවි කිරීමෙන් පමණක් බව ද සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ගොඩලියැද්ද මහතා මෙසේද පැවැසීය. “ඇත්තෙන්ම අපිට විශාල දේපළ නෑ. කිසිම භෞතික දේවල් අපිට නෑ. අපිට තියෙන්නේ සන්නාමයක් විතරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ලෝගෝ එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමයෙන් තමයි අපි ලෝකෙ පුරා ගිහිල්ලා සල්ලි හෙව්විවේ. ඒ සල්ලි අරගෙන අපි ක්‍රීඩකයින්ට වියදම් කරලා අපි ජාත්‍යන්තර තරගවලට වියදම් කරලා, අපි අපේ ක්‍රීඩකයින් බිහි කරන තෝ තැන්න වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අද මේ අරමුදල් ගෙනල්ලා තියෙන්නේ. ඉතිං අද මේ ව්‍යාපෘති සඳහා වියදම් කරන කිසිම මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් හෝ කිසිම රාජ්‍ය ආයතනයකින් ලබා ගත්ත අරමුදල් නොවෙයි. ගරු අමාත්‍යතුමණි, මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සොයා ගන්නා ලද අරමුදල් වලින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් බව සඳහන් කරන්න කැමැතියි“ යනුවෙනි.
අද දිනයේදී බෙදා දෙන ලද ක්‍රිකට් ක්‍රීඩාකරන සපත්තු යුගල 9995 න් යුගල 6138 ක්, වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන බාළක සහ බාළිකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද සපත්තු යුගල 3250 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක අවුරුදු 13, 15, 17, සහ 19 න් පහළ බාළක ක්‍රීඩකයින්ටත් අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රීඩිකාවන්ටත් ලබා දෙන ලදී. මෙයින් යුගල 607 ක් දිස්ත්‍රික් සහ පළාත් සංචිත වන ක්‍රීඩකයින් වෙතද ලබා දෙන ලදී.






