slc
logo
Home   |    News
අගෝස්තු 19, 2025
සිම්බාබ්වේ යන්න කළින් වේග පන්දු යවන්නන්ට ලසිත් මාලිංගගෙන් උපදෙස්

sinhala editor

සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකරන පුහුණුවීම් වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම පුහුණුවීම් වලට එක්ව සිටියි.

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ශ්‍රී ලංකා ඉඩම් හා ගොඩ කිරීමේ සංස්ථාවට අයත් ක්‍රීඩාංගණයේදී අද (19 දා) පැවැති පුහුණුවීම් වලදී මාලිංග ශ්‍රී ලංකා සංචිතයේ පසුවන වේග පන්දු යවන්නන් සමඟින් සමීපව කටයුතු කළේය. මෙහිදී විශේෂයෙන්ම මාලිංග විසින් වේග පන්දු යවන්නන්ට අවශ්‍ය තාක්ෂණික විශ්ෂඥතාවයට අමතරව උපායශීලී අවබෝධයක් ලබා දෙමින් තමා සතු අත්දැකීම් සම්භාරය ක්‍රීඩකයින් සමඟින් බෙදා හදා ගනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අගෝස්තු මස 22 වැනිදා සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යන අතර එහිදී එක්දින තරග දෙකකට සහ විස්සයි-20 තරග 3 කට ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 226 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 84 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී පිළිවෙළින් කඩුලු 338 ක් සහ 107 ක් වශයෙන් බිඳ හෙළා ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම් සහ දැනුම, කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ කුසලතාව වැඩි දියුණු කිරීමට මහ පරිමාණ දායකත්වයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂාව වී තිබේ.

මෙම පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණු සංචිතයේ වැඩි ක්‍රීඩකයින් පිරිසක් සහභාගිව සිටි අතර ඒ අතර ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ඇතුළු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයද විය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වන්නේද අදාළ සිම්බාබ්වේ තරග සංචාරය වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee