slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2025
කමිඳු මෙන්ඩිස්ගේ වේගවත් පිතිහරඹය ශ්‍රී ලංකාව දිනවයි

sinhala editor

අවසන් පන්දුවාර 4 න් ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් හයේ පහර 4 ක් සහ හතරේ  පහරක් සමගින් පන්දු 16 කදී නොදැවී රැස් කරන ලද වේගවත් ලකුණු 41 ක ඉනිම ප්‍රධාන කොට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (03 දා) හැකියාව ලැබිණ. මේ සමඟම තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියද 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

ලකුණු 176 ක අසිරු ඉලක්කයක් හඹා යෑම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 61 දී වේගවත් ලකුණු 96 ක සාර්ථක ආරම්භයක් එක් කරදීමට සමත් වූවේය. මොවුන් දෙදෙනාට පළමු ලකුණු 50 ලකුණු පුවරුවට එක් කිරීම සඳහා වැය වූයේ පන්දු 25 ක් පමණක් වීම කැපී පෙනිණ. එහෙත් පැතුම් නිස්සංක දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 29 ක් එකතු වන අතර වාරයේ කඩුලු 5 ක්ම දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තරමක් අවධානම් විය.

මේ අතරතුර කාලයේදී තරගයේ සියලුම වාසි තමන් වෙත හරවා ගැනීමට සත්කාරක පන්දු යවන්නන් යුහුසුලු වත්දී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන ගැලවුම් කරුවා බවට පත්වූවේය. ඒ වෙනුවෙන් සිම්බාබ්වේ වේග පන්දු යවන්නන් කමිඳුට පසුපස පාදයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් එවන ලද කෙටි පන්දුද ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්වූවේය. මෙම දක්ෂතාව මත තරගයේ වීරයා සම්මානයෙන්ද කමිඳු පිදුම් ලැබුවේය.

කෙසේ වෙතත් අවසන් පන්දු 18 දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබූ ඉලක්කය ලුණු 34 කි. ඒ අනුව 18 වැනි පන්දුවාරය යැවූ ටිනොටෙන්ඩා මපෝසාගෙන් ලකුණු 26 ක් උදුරා ගත් කමිඳු සහ දුෂාන් හේමන්ත දෙදෙනා එතෙක් වැඩි වාසි තිබූ සිම්බාබ්වේ කණ්ඩායමෙන් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත නතු කර ගත්හ.

අද දිනයේදී මංගල විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනා ගත් දුෂාන් හේමන්තගේ පිත්තෙන් එල්ල වුණු හතරේ පහරත් සමග පන්දු 5 ක් සහ කඩුලු 4 ක් අතැතිව තිබියදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සපුරා ගැනීමට හැකියාව ලැබිණ.

පැතුම් නිස්සංක අද රැස් කරන ලද්දේ මෙම තරගාවලියේදී පිට පිටම තෙවැනි අර්ධ ශතකය විය. මෙම තරගයට පෙර පැවැති එක්දින තරග දෙකේදීද අර්ධ ශතකයක් සහ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ දකුණත් ආරම්භක පිතිකරුවා අද දිනයේ ලකුණු 50 සීමාව ඉක්මවා ගියේ 2025 වසරේදී ඔහු ලබා ගන්නා ලද පළමු විස්සයි-20 අර්ධ ශතකය සනිටුහන් කර ගනිමිනි. මිට පෙර ඔහු මෙම වසරේදී පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග @ කට ක්‍රීඩා කර තිබුණද එකම වතාවකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට අසමත්ව සිටියේය.

බ්‍රයන් බෙනට්ගේ ලකුණු 81 ක සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාව ලැබිණ. පන්දු 57 ක් සිය ඉනිම වෙනුවෙන් වැය කරන ලද දකුණත් ආරම්භක පිතිකරුවා සිය ඉනිම හතරේ පහර 12 කින් වර්ණවත් කර ගත්තේය.

කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කන්ඩායමේ පළමු කඩුල්ල ලෙස තඩිවංශේ මරුමානි තෙවැනි පන්දුවාරයේදී දැවී ගිය නමුත්, බෙන්ට් එකතු වූ ෂෝන් විලියම්ස් පන්දු 35 කින් ලකුනු 59 ක් සිම්බාබ්වේ ඉනිමට දායාද කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මනා පාලනයකින් යුතුව පන්දු යැවූ දුෂ්මන්ත චමීර සහ දුෂාන් හේමන්ත දෙදෙනා සත්කාරක මැද පෙළ තරමක් පාලනය නොකරන්නට මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

සිම්බාබ්වේ පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 175 යි – (බ්‍රයන් බෙනට් 81, ෂෝන් විලියම්ස් 14, සිකන්දර් රාසා 28, රයන් බර්ල් 17, ටශිංගා මුසෙකිවා 11, දුෂ්මන්ත චමීර 30/3, දුෂාන් හේමන්ත 28/1, මහීෂ් තීක්ෂණ 38/1, නුවන් තුෂාර 47/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 177 යි – (පැතුම් නිස්සංක 55, කුසල් මෙන්ඩිස් 38, කමිඳු මෙන්ඩිස් 41, දුෂාන් හේමන්ත 14*, රිචර්ඩ් එන්ගරාවා 19/2, බ්ලෙසිං මුසර්බානි 41/1, ටිනොටෙන්ඩා මපොසා 47/1, බ්‍රෑඩ් එවන්ස් 30/1, සිකන්දර් රාසා 26/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee