slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2025
කාන්තා ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයක් අඩු කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක එම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය දැනටමත් ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වෙන මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ප්‍රවේශපත්‍ර සැප්තැම්බර් මස 04 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා වූ කාල සීමාවේදී දෙවැනි අදියරේ අළෙවි කිරීම් සැප්තැම්බර් මස 09 වැනිදා සිට ආරම්භ කෙරිණ.

ඒ අනුව පූර්ව ප්‍රවේශපත්‍ර අළෙවි අදියරයන්හිදී ප්‍රවේශපත්‍රයක මිල රු. 100 ක මුදලින් ආරම්භ වන අතර එය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ප්‍රවේශපත්‍රයක් අලෙවි කරන ලද අඩුම මිල ගණන ලෙසින් සනිටුහන් වේ.

2025 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. සත්කාරකත්වය දරනු ලබන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බංග්ලාදේශ තරගාවලිය නියෝජනය කරනු ලබන සෙසු රටවල් වෙති.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව විසින් තරග 11 කදී සත්කාරකත්වය ලබා දීමට නියමිත අතර එම තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. තරගාවලියේ සමාරම්භය සැප්තැම්බර් මස 30 වැනිදා සම සත්කාරකයින් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වනු ඇත. යම් හෙයකින් පාකිස්තානු කණ්ඩායම අවසන් පූර්ව සහ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබාගත හොත් පමණක් එක් අවසන් පූර්ව තරගයක් හා අවසන් මහ තරගයද ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත.

තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට නියමිත නමුත්, එම තරගය පැවැත්වෙන ස්ථානය තවමත් නම් නොකර තිබීම විශේෂත්වයකි.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තරග මෙසේය.

සැප්තැම්බර් 30 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවාතිහිදී

ඔක්තෝම්බර් 04 – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 11 – ශ්‍රී ලංකාව සහ එංගලන්තයට අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 14 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 17 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 20 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 24 – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar